Saturday, October 19, 2013

ආදරය බෙදා ගන්න ජීවිතයම වී (Love story by Kasun Samarakoon)

ආදරය බෙදා ගන්න ජීවිතයම වී

හෙමින් හෙමින් වැටුණු වැහි බිංදු පොළොව සිපගන්නට පටන් ගත්තා. වැස්සත් එක්කම පිනිමල් අතුරුදන් වෙනකොට ඒ හිරිපොද අස්සෙන් දෙන්නෙක් නුවර වැව රවුම අද්දරින් ඇවිද යන්නට වුණා. ඒ දෙන්නා කිටි කිටියෙ බදාගෙන හිටියෙ. රෝස පාට මල් වැටුණු ලස්සන පොඩි කුඬේ අස්සේ දෙන්නටම වැස්සෙන් බේරෙන්න ඉඩක් තිබුණෙ නැහැ. ඒත් එකිනෙකාගේ හදවතින් පිටවෙන හුස්ම පොදේ උණුසුමත් දැනෙන තරමට ළංවෙලා හිටපු ඒ දෙන්නට වැස්ස ගැන වගක්වත් තිබුණේ නැහැ. වචනෙන් කියන්න බැරි මොකක්දෝ අවිනිශ්චිත හැඟීමක් මේ දෙන්නගේ ඇස්වල තිබුණා. ඔවුනොවුන් දකින හැම මොහොතෙම ලොකු වෙන කළු ඉංගිරියාව හැම වෙලාවෙම හැංගෙන්නයි උත්සහ කළේ. දෙදෙනාටම තිබුණේ එකම සිතුවිල්ලක් විතරයි. ඒ මේ ආදරණීය උණුසුමේ තවත් මොහොතක්.... තවත් මොහොතක්... රැුඳිලා ඉන්න. නෙත් කෙවිණිවලට ක`දුළු බිංදු පිරෙන්න ළං වෙනකොට තෙත් වෙලා තිබ්බ බංකුවක් උඩ දෙන්නම වාඩිවුණේ පුරුද්දට වගේ. ඉස්සරහින් දළදා මාලිගාව පේනවා. ඉර බැහැලා නොගියත් වැහි කෝඬේ හින්දා වටපිටාව අඳුරු වෙලා. දළදා මාලිගාවේ ලයිට් එක දෙක පත්තු වෙනවා. ඒවා පෙනෙන්නෙ වැහි පොද අස්සෙන් බොඳ වෙලා. රශ්මි, නිහාල්ගෙ අත හෙමිහිට අල්ල ගත්තා. ඇගේ අත ටික ටික නිහාල්ගෙ අතටම ගුලිවෙලා ඔහුටම සන්තක වුණා. නිහාල් අනෙක් අත රශ්මිගේ ඇඟ වටේට දැම්මා. ඇගේ උණුසුම තව තවත් ඔහුව ජීවත් කරවන්න සමත් වුණා. හුළඟත් එක්ක අකීකරු වුණු රශ්මිගේ කොණ්ඩෙන් හමපු සමන්පිච්ච සුවඳත් එක්ක ඔහු ජීවත් වෙන්න පටන්ගෙන දැන් ගොඩක් කල් වෙනවා. ඔහු තවත් ළං වෙලා රශ්මිගේ නළල මත තොල් තිබ්බා. නිහාල් රශ්මිගේ නළලත සිපගන්න කොට ඔහුටම නොදැනී ඇසිපිය පියවුණා. අතීතය සිනමාපටයක් වගේ මතක ගබඩාවෙන් එළියට පැනලා දුවන්න ගත්තෙ ඒ වෙලාවෙයි.

අනන්තයක් වගේ දැනුණු සිපගැනීමේ කාලය ක්ෂණිකයෙන් අවසන් වුණා. වාවගන්න බැරි දුකකුත් හදවතේ ඉතිරිවෙලා. වෙනදා වගේම වාහන, මිනිස්සු වේගයෙන් එහෙ මෙහෙ යනවා. ඒ අස්සෙ රශ්මිගේ ඇස්වලින් වැටුණු උණුසුම් කඳුළු බිංදුවක් දෙකොපුල් දිගේ පහළට ගලාගෙන යන්න වුණා. නිහාල් ඒක දැක්කත් ඔහු අහක බලාගත්තා. ඒ ඔහුගේ නෙත් අගට ආව කඳුළු රශ්මිටත් හොරාවට පිහිදා ගන්න.

‘නෝනටයි මහත්තයටයි, වාසනාවන්ත ජීවිතයකට පාර හදාගන්න, අද අදින ස්වීප් එක්ක ගන්න. වාසනාව කොයි වේලෙ කොහොම කැරකෙයිද කියලා කවුද දන්නෙ මහත්තයා’ ලොතරැුයි වෙළෙන්දා එහෙම කියනකොට රශ්මි බයෙන් වගේ නිහාල්ගෙ අත තවත් තදින් අල්ල ගත්තා. නිහාල් ටිකට් එකක් ගත්තට පස්සෙ වෙළෙන්දා යන්න ගියා.

‘අපිට නැත්තෙම වාසනාව තමයි’ නිහාල් යටිතොල විකාගන්න ගමන් කිව්වා. රශ්මි අතකින් නිහාල්ගෙ කට වැහුවා.

‘හැමදාම මම යන්න කලින් ඔයා මගේ නළල ඉඹින කොට ඔයා දන්නෙත් නැතිව ඇස්වලට කඳුළු පිරෙනවා. මට එතකොට යන්න හිතෙන්නෙ නැහැ, ඔයා හැමදාම අහනවා ඇයි එක සැරේම කලබලෙන් දුවන්නෙ කියලා. ඒ හැමදාම මාව දාලා ‘ආදරෙයි, කියලා මූණ ඉම්බට පස්සෙ මට ‘ගුඞ් නයිට්’ කියන්නවත් ශක්තියක් නැති වෙනවා. මගේ ආත්මෙම ඔයාගේ පාමුල තියලා දුවන කොට ඒ යන්නෙ මම නෙවෙයි මළ කඳක්’ රශ්මි අනික් අතින් එයාගෙ කඳුළු පිහදාගෙන කතා කරද්දී නිහාල්ට දැනුණෙ ඇය තමන්ට ගව් ගණනක් දුර ඉඳන් කතා කරනවා වගේ.

‘ඔයා අඬනවා දකින්න මං ආස නැහැ, ඒ වගේම මගේ කඳුළු ඔයා දකිනවටත් මම ආස නැහැ’

රශ්මි හෙමිහිට නිහාල්ගෙ දෑස් මත තිබ්බ අත ඔහුගේ මුව අසලට ළං කළා. නිහාල් බොඳවුණ දෑසින් රශ්මිගෙ අත අරන් ඉම්බා. ආත්මයම ගහගෙන යන තරම් හයියෙන් නුවර වැවේ ඉඳන් හුළඟක් ආවා. ඒ හුළඟත් එක්කම රශ්මි දිග සුසුමක් පිට කළා. ඊට පස්සෙ ඉතාමත් හෙමින් තම හෑන්ඞ් බෑග් එකෙන් මුද්දක් එළියට ගත්තා. මුද්ද එළියට ගනිද්දිම නිහාල් කැකෑරෙන වේදනාවෙන් අහක බලා ගත්තා. රශ්මි වැරැුද්දක් කරනවා වගේ හොරෙන් ඇගේ වමතේ වෙදැඟිල්ලට මුද්ද දා ගත්තා.

‘මේක ආදරේ නෙවෙයිද?’ නිහාල් ඇහුවේ අපහසුවෙන්.

‘ඔයා මොනවද මේ කියන්නෙ, ඔයා තමයි මගේ ජීවිතේ මට ලැබුණ හොඳම දේ. ඒත් මම පරවුණ මලක්, අපේ දෛවය මේකයි, කවදාවත් අපි හැබෑවට ආදරේ කරන කෙනා අපට නීත්‍යනුකූලව ලැබෙන්නෙ නැහැ’

‘එතකොට මම කවුද?’

රශ්මි තමන්ගෙ දෑතම නිහාල්ගෙ දෙකම්මුල්වලට තියලා තද කෙරුවා. නිහාල්ගෙ දෑස් දිහා බලාගෙන කතා කරන්න තම අන්තිම ආත්ම ශක්තියත් යොදා ගන්න තරම් පහළට වැටෙන්න රශ්මිට සිද්ධ වුණා. ඇගේ හිත එහෙ මෙහෙ දුවනවා. ඒත් නිහාල්ගෙ ඇස් දැක්කහම ඔක්කොම නතර වෙනවා. රශ්මි හැඬුමකට ආසන්න ස්වරයකින් කතා කරන්න වුණා.

‘ඔයා මේ කිසිදේකට වැරැුදි නැහැ, අපි හිතන්නෙ නැති වෙලාවට අපිට සමහර දේවල් කරන්න වෙනවා. මම බැන්දා. ඒ ඔයා හම්බ වෙන්නත් අවුරුදු ගාණකට කලින්.. ඒත් ඒ ආදරයට නෙවෙයි අනාරක්ෂිත බව නැති කරගන්න. ඊට පස්සෙ ඔයා මුණගැහුණා. හොඳ යාළුවෙක් විදිහට, මං ආසම කරන ගතිගුණ එක්ක, මට හොඳ සහෝදරයෙක් වුණා. කවදාවත් ආදරේ නොකරපු මට ඔයා පෙම්වතෙක් වුණා, ඔයාව නැති කරගන්න බැරි හින්දා බොරු කිව්වා, බැඳපු ගෑනියෙක් එක්ක කොල්ලෙක් යාළුවෙන්නෙ සෙක්ස් කරන්න. ඒත් අවුරුද්දක එෆයාර් එකකදී අපි කරපු නැති එකම දේ ඒකයි. ඒකට හේතුව ඔයාගේ විනය. ඔයාට තව තවත් බැඳෙන්න එක හේතුවක්. දැන් අපිට සමුගන්න වෙලා. මට යන්න දෙන්න.., ඔයා ඔයාගේ ලෝකෙටත් මං මට නියම වුණ ලෝකෙටත්’

⋆ ⋆ ⋆
නිහාල් සහ රශ්මි නුවර වැව් රවුමේදී එකිනෙකාගෙන් වෙන් වෙන්නේ ‘අසම්මත’ කියන සම්ප‍්‍රදාය ආරක්ෂා කරගෙනයි. අපේ ජීවිත තුළදී මෙවන් ‘අසම්මත ’ යැයි හඳුන්වන රොමෑන්ටික් ආදරයන්  ඕනෑ තරම්. එවන් අසම්මත පේ‍්‍රමයන්හි ඉදිරියේදීත් මුණගැහෙනවා මෙම ඉඩකඩින්.

එන්න
අප හා
දෝතින්.
වට්ටියක් ගෙන
සිසිලස සමග
ආදරය බෙදා ගන්න
ජීවිතයම වී

No comments:

Post a Comment