Wednesday, November 6, 2013

නිර්මාණකරුවන් ‘පොර’ වී ආදරය ‘අන්ධ’ වීම

නිර්මාණකරුවන්පොරවී ආදරය ‘අන්ධ’ වීම


ආදරය ගැන ගොඩාක් දෙනෙක් ගොඩක් කතා කරන කාලයක් තමයි මේක. ඒක විවිධ ආදරයේ වර්ගීකරණයන් තියෙනවා. මං සමනළ සංද්වනිය’ ගැන ලිව්වෙ චිත‍්‍රපටය බලලා.  එහි නිර්මාපකයාගේ සිනමා සංවේදීතාවය සහ සමාජ සංවේදීතාව අපි වෙනමම කතා කළ යුතු  වනවා. එය මම යළි යළිත් පවසන්නට නොයන්නේ පෞද්ගලිකව අධ්‍යක්ෂවරයාට පහර ගැසීමක් යැයි ඔබ සිතනු නිසාය. නමුත් මට ඔහු සමග කිසිදු ආරෝවක් නැහැ. නිර්මාණය පිළිබඳ  ගැටලූවක් පමණයි මට ඇත්තේ. තම නිර්මාණ පිළිබඳ  ඕනෑම නිර්මාපකයෙක් අතිශයෙන් සතුටට පත්වනවා නම් ඔහු හෝ ඇය නිර්මාණකරණයේ යෙදිය යුතු නැහැ. මොකද නිර්මාණකරුවා/සාහිත්‍යකරුවා කියන්නෙ නිරතුරුව සුපෝෂණය වන කෙනෙක් නිසා. සාහිත්‍ය කියන වචනයේ වාග් අර්ථය වන්නේ ‘සහිත බව’ කියන දේ. ඉතින් මේ ‘සහිත බව’ කොහෙන්ද එන්නෙ? මේ ලිපියේ ප‍්‍රධාන කාරණා දෙකක් කියන්න මම උත්සහ කරනවා.

1. වර්තමාන නිර්මාණකරුවා (කවුද?)

2. ආදරය වස්තු විෂය වූ විට කුමක් වෙයිද?


වර්තමාන නිර්මාණකරුවා කියන කාරණය හරිම ඛේදවාචකයක් බවට පත්වෙනවා. විශේෂයෙන් පොතක් පතක් කියවන්නෙ නැතිව, හොඳ චිත‍්‍රපටයක් බලන්න නැතිව හොඳ අත්දැකීමක් නැතිව නිර්මාණකරුවන් වෙන්න හදනකොට හරිම අවුලක් දැනෙන්නෙ. ඒ අවුල වැඩියෙන් දැනෙන්න ගන්නවා බොරු වීරයෝ බිහි වෙනකොට. අපේ තරුණ නිර්මාණකරුවන් හිතන්නෙ නැති දෙයක් තියෙනවා ඒ ඔවුන්ගේ හිස් හිස් ගෙඩිවලට පමණක් ඉදිරියට යන්න බෑ කියන කාරණය. මේ කාරණය මෑතක බිහි වූ කවියෝ,කෙටිකතාකරුවන්, නවකතාකරුවන්, සිනමාවට අතගසා ඇති අය අතර බහුලව දක්නට ලැබෙනවා. මොකද ඔවුන් බොහෝ දෙනෙක්  ඕනෑම දෙයක් කරලා හිතනවා මේක තමයි හොඳම දේ කියලා. උදාහරණයක් විදහට මේ ළඟකදී කවි ලියන තරුණ නිර්මාණකරුවෙක් අහනවා කවුද දයාසේන ගුණසිංහ කියලා? පිස්සු වැටුණු උදෑසන ලියපු මහාචාර්ය විමල් දිසානායක ජීවත් වෙනවද?’ අහනවා. මට පොළොව පළාගෙන යන්න හිතුණා. කවි ලියන්න කලින් අඩුම ගාණේ කවියක් කියලවත් තියෙනවද කියලා අහන්න හිතුණා. කවි කියන්නෙ නිසදැස් හා නිදහස් ආර පමණක් කියන කාරණයටත් දැන් අලූත් කවියෝ ඇවිත්. ඒ සඳහා උඩගෙඩි දෙන ප‍්‍රවීණයි කියා ගන්නා නමුත් හරියට කවිපද බැදගන්න බැරි අයත් පුදුම රුකුලක් ලබා දෙන්නෙ. එහෙම වුණාම මේක ‘පට්ට ආතල්’ ගන්න ‘ආතල් දෙන’ සාහිත්‍ය ක‍්‍රියාවලියක් බවට පත් වෙනවා. මගේ හොඳ යාළුවෙක් ඉන්නවා දක්ෂ කවියෙක් ඔහු කාව්‍ය ඉතිහාසය කවි බස හොඳට දන්නවා. නමුත් ඔහු තවදුරටත් හොය හොයා යන්න උත්සහ කරන්නෙ නැහැ. එතැනින් ඔහුගේ ගමන අවසන් විය හැකියි. ඒ බව ඔහුට කිව්වොත් කියන පුද්ගලයා අනෙකා කරගන්නවා. මේ ආතල් සමාජේ ඉන්නෙ විකාරරූපි සාහිත්‍යකරුවෝ මම විෂුවල් මීඩියා ගැන කතා කරන්න බොහොම අකැමැතියි.

ඒකට හේතුව අඩුම ගාණේ අධ්‍යකෂවරයෙක්ගේ නමක්වත් දන්නෙ නැති පිරිසක් මේ ක්ෂේත‍්‍රයට පිවිස සිටීමයි. කිසිම යාවත්කාලීන වීමකින් තොරව ඔහේ මොනවදෝ කරනවා. තමන් කරන්නෙ මොනවද කියලවත් ඔවුන්ට වැටහීමක් නැහැ. සතියකට සැරයක් දෙකක් කවුරු හරි අලූත් කෙනෙක් කෙටි චිත‍්‍රපටයක් හෝ කුමක් හේ විෂුවල් මීඩියා පොඩක්ෂන් එක්ක පෙන්නලා අහනවා මේ ගැන හිතන්නෙ මොකක්ද කියලා. මේ අතර හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. ඉදිරියක් තියෙන අය හරියට ලක්ෂිත ප‍්‍රසාද්, නිපුනිකා ප‍්‍රනාන්දු, සම්පත් කඹුරුගමුව, සෞම්‍ය සඳරුවන් ලියනගේ, නිරෝෂන් දිද්දෙනිගමගේ වැනි අපේ පරම්පරාවේ අනාගත බලාපොරොත්තු තබාගත හැකි අධ්‍යක්ෂවරුන්. නමුත් අනෙක් අය කුමක් හෝ කරලා ‘හොඳයි’ කියලා අහගන්න හදනවා. ඒක පශ්චාත් නූතන තත්ත්වයකටත් වඩා ගෝත‍්‍රිකවාදී බවක්.

ආචාර්ය තිස්ස අබේසේකරයන් සිනමාව ගැන මෙහෙම කිව්වා. ‘සිනමාව කියන්නෙ සියලූ සාහිත්‍යාංග ඇතුළත් සංක්ලේෂී කලාවක්’ කියලා.

   ඉතින් අධ්‍යක්ෂවරු ඉන්න හාදයෝ චිත‍්‍රපටයක් බලන්නෙවත් නැතිව පොතක්පතක් කියවයි කියලා හිතන්නවත් බැහැ.
                                 ඔස්කාර් සම්මානලාභී නළුවෙක් වූ වෝල්ටර් මැත්තාහ් (Walter Matthau) අධ්‍යක්ෂවරුන් පිළිබඳ මෙසේ පවසනවා. ‘සමහර අධ්‍යක්ෂවරු කැමරාව ගැන දන්නවා. නමුත් මනුෂ්‍යත්වය දන්නේ නැහැ. සමහරු මනුෂ්‍යත්වය ගැන දන්නවා නමුත් කැමරාව ගැන දන්නෙ නැහැ’

  
අපේ ගොඩක් දෙනෙක් කැමරාව ගැනවත් මනුෂ්‍යත්වය ගැනවත් දන්නෙ නැහැ. ඉතින් කොහොමද අධ්‍යක්ෂවරු වෙන්නෙ? අධ්‍යක්ෂවරයා කියන්නෙ නැවක කපිතාන් කෙනෙක් වගේ වගකීම සහ විනය කියන දෙකම තියෙන්න  ඕනෙ. ඒ දෙකම නැතිව ඉන්න පිරිසක් නිර්මාණකරණයේ යෙදෙනවා කියන්නෙ වඳුරන්ට දැලි පිහි අහුවුණා වගේ වැඩක්.

දෙවැනි කාරණය තමයි ‘ආදරය’ වස්තු විෂයන් වූ විට නිර්මාණය කුමක් වෙයිද යන්න. මේක අපේ රටේ හරියට අනාගන්නා මාතෘකාවක්. මොකද ආදර කතා පිළිබඳ අපි  ඕනෑ තරම් නිර්මාණ තුළින් දැකලා තියෙනවා. නමුත් ඉන් කීයෙන් කීයද අපේ මතකයේ රැුඳිලා තියෙන්නෙ. අනූව දශකයේදී තරගත වූ ටෙලිනාට්‍යයක් වන ‘රතු රෝස’ තවමත් අපේ හිත්වල රැුඳිලා තියෙනවා. ඊට පස්සෙ ආදරය පිළිබඳ කතා කරන හිතට වදින ටෙලිනාට්‍යයක් අපිට ලැබිලා නැහැ. චිත‍්‍රපට පිළිබඳ තියෙන්නෙත් ඔය වගේම තත්ත්වයක්. අපි පාරම්බෑවට අඩුම තරමේ හින්දි සිනමාපටයක ළඟින්වත් යන තරමේ ආදර කතාවක් ගොඩනගන්න අපිට හැකි වෙලා තියෙනවද? තවමත් අපි බඩගාගෙන යන ගමනක් තියෙන්නෙ. ඉදිරියේදී හෝ එවැනි නිර්මාණ බිහිවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
                              
                                  යෂ් චොප්රා කියන්නෙ හින්දි සිනමාවේ හිටපු විශිෂ්ඨතම ප්‍රේම කතා තිරයට ගෙනාපු නිර්මාණකරුවායි. ඔහුගේ පේ‍්‍රම කතා පේ‍්‍රක්ෂක, විචාරක සම්මානයට පාත‍්‍ර වුණා. ඔහුගේ නිර්මාණ ගැන අහපු වෙලාවක ඔහු දුන්නෙ මෙහෙම උත්තරයක්. ‘මම ආදරය ගැන චිත‍්‍රපට කරන්නෙ නැහැ. මම කරන්නෙ මානව සබඳතා ගැන චිත‍්‍රපට’.
                                   
                                              ඇත්තටම අපිට අමතක වෙලා තියෙන්නෙත් ඔය කාරණාවම තමයි. අපි ආදරය කරන්න දන්නෙ නැති ජාතියක්. නැත්නම් ආදර තිරයට ගේන්න බැරිකමක් නැහැ. සැබෑවටම සමාජයට පුද්ගලයන්ට ආදරය කරන මිනිසුන් අතින් නිර්මාණ බිහිවෙයි කියලා අපි බලාගෙන ඉන්නවා. මොකද අපි වගේ රටකට එවන් නිර්මාණ වැඩි වැඩියෙන් අවශ්‍යයි. තරුණ නිර්මාණකරුවන් හෝ මේ පිළිබඳ හොඳ කියවීමකින් පසුව නිර්මාණ බිහිකරනවා නම් වඩා සාර්ථක කලාවක් අපිට දැකගත හැකි වෙයි.

                    එහෙම නැතිව යුරෝපයේ හෝ දකුණු ඇමෙරිකාවේ හෝ ආසියාවේ කොණක ‘සම්භාව්‍ය’ යැයි කියාගන්නා සිනමාවක් වෙනුවෙන් ජීවිතය පුද කරනවා දැයි සිතා බැලිය යුතු වෙනවා. කොටින්ම අපි මේ භූවිෂමතාවය හඳුනාගත යුතු වනවා. ඒ භූවිෂමතාවය තුළ අපිට බොහෝ දේවල් තේරුම් ගන්න අවකාශය සලසනවා. විශේෂයෙන් මේ ඝර්ම කලාපීය රටේ හදවත් ගැහෙනා හඬ අප ඉගෙන ගත යුතු වෙනවා. එසේ නොවුණහොත් වල් බිහි වූ ‘ආදරයන්’ ගැන කුණුහරුප නිර්මාණ කරනා තවත් පිරිසක් අනාගතයේ එකතු වේවි.

2 comments: