Friday, October 11, 2013

අශෝක හඳගම (Ashoka Hadagama) interview

 ජීවිතේ පරිණත වෙනකොට මීට වඩා ගැඹුරින් දකින්න පුරුදු වෙනවා-
අශෝක හඳගම  (Ashoka Hadagama)

අශෝක හඳගම යනු මෙරට සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයෙක් පමණක්ම නොවෙයි. ඔහු කලා ලෝකයට එක්වන්නේ කවියෙක් වශයෙනි. අසූව දශකයේ අග තම කවිකමින් මනාව ප‍්‍රයෝජනයට ගත් හඳගම තම ආත්මීය ප‍්‍රකාශනයන් ඒ හරහා පිටතට දැමීය. අනතුරුව ඔහු සිය ප‍්‍රකාශන මාධ්‍ය වශයෙන් වේදිකාව තෝරාගන්නේය. ‘භූමිකා’, ‘හෙණ’, ‘මාඝාත’ වැනි සමාජ සංසිද්ධීන් රූපණය කරනා වේදිකා නාට්‍ය රැසක් ඔහු නිෂ්පාදනය කරයි. අනතුරුව 1992 වර්ෂයේදී ‘දුන්හිඳ අද්දර’ ටෙලිවෘතාන්තය හරහා ඔහු පුංචි තිරයට පැමිණෙයි. ‘දුන්හිඳ අද්දර’, ‘දියකැටපහන’, ‘සින්තටික් සිහිනය’, ‘මේ පාරෙන් යන්න’, ‘නැගෙනහිර වෙරළෙන් ඇසෙන හඬ’ යන ටෙලි නිර්මාණ අධ්‍යක්ෂණය කරන්නේය. අශෝක හඳගමගේ සිනමා දිවිය ඇරඹෙන්නේ, 1996 ‘චන්ද කින්නරී’ හරහාය. අනතුරුව ‘සඳ දඩයම’ (1996), ‘මේ මගේ සඳයි’ (2000), ‘තනි තටුවෙන් පියාඹන්න’ (2002) ‘අක්ෂරය’(2005) ‘වි¥’ (2010) සහ ‘ඉනි අවන්’ (2012) නිර්මාණය කරන්නේ ‘හඳගම’ සිය අනන්‍යතාව තහවුරු කරගනිමිනි. ඔහුගේ මෙම සිනමාපට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගැයීමට භාජනය විය.හඳගමගේ නවතම නිර්මාණය වන ‘ඉනි අවන්’ දමිළ මාධ්‍ය සිනමාපටයක් වෙයි. එය මෙවර ‘දෙරණ ලක්ස්’ සිනමා සම්මාන උළෙලේ ඇගැයීමට භාජනය විය. සම්මානලාභී අධ්‍යක්ෂ අශෝක හඳගමයන් හතර වැනි හරස්වීදියට මෙසේ එක්විය.

Q.අද ඔබව සිනමාකරුවෙක් වශයෙන් බොහෝදෙනා හඳුනාගත්තත් ඔබ දශක දෙකහමාරකට පමණ පෙර බොහෝ අය දැන සිටියේ කවියෙක් වශයෙන්. සිනමාකරුවෙක් වීමේ ගමනේදී කවියා මරණයට පත්වුණාද?

A.ඒක මං මෙහෙම විග‍්‍රහ කරන්නම්. කවිය කියන දෙය තාම මගේ හිතේ පවතිනවා. එය නැතිවෙලා ගිහිං නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මං කරන චිත‍්‍රපටයක ගීතයක් තිබෙනවා නම් එහෙමත් නැත්නම් මම රචනා කරනා කෙටිකතාවකට කවියක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක කවියක් ලියනවා. නමුත් ඉස්සර වගේ කවියක් ලියනවා කියලා හිතාගෙන කවි ලියන්නෙ නැහැ. කෙටිකතාවක් වුණත් ලියැවෙන්නෙ එහෙමයි. මේ ළඟදී ‘ෂැන් විලාගේ සිහිනය’ වගේ එකක් ලියැවුණෙත් එහෙම අදහසක් මතුවෙලා තමයි. කවිකම මගේ හිතේ පවතිනවා. ඒවා මතුවන්නෙ මොකක් හරි නිර්මාණයක් සමගයි. මගේ වැඩි කාලයක් ගත වෙන්නෙ රාජකාරී ජීවිතයේ. ඊට අමතරව මම පවතින්න අවශ්‍ය නිසා ඊළඟ නිර්මාණය පිළිබඳ සිත යොමු කරනකොට සිනමා කෘතියක් සමගයි ගැටෙන්නෙ. සමහරවිට ජීවිතේ තව කාලෙක මීට වඩා විවේකයක් හමුවන කාලයක කවිය පිළිබඳ සිත යොමු කරන්න පුළුවන් වෙයි. වේදිකා නාට්‍යයක් නම් මම කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒකට රංගන ශිල්පීන් පිළිබඳ ගැටලූවක් පවතින්නෙ. එම ගැටලූව විසඳගත්තම වේදිකා නාට්‍ය රංගගත කරන්න පුළුවන්.

Q.ඔබගේ මුල්කාලීන වේදිකා නාට්‍ය තුළ විප්ලවවාදී අන්තර්ගතයක් පැවතුණා. මාඝාත වැනි වේදිකා නාට්‍යයක් එකල සමාජය දැඩි සේ විවේචනයට ලක් කළා. නමුත් ඉන් අනතුරුව ඔබ සිනමා නිර්මාණ කිරීමේදී ෆ්‍රොයිඩියානු සහ ලැකානියානු මනෝ විශ්ලේෂණ ගෙන එනවා. මේක වෙන්නෙ කොහොමද?


A.මම නිර්මාණකරුවෙක්. නිර්මාණකරුවෙක් වශයෙන් මම කරන්නෙ නිර්මාණයක්. චිත‍්‍රපටය හෝ නාට්‍ය හෝ කෙටිකතාව හෝ කියවන ප‍්‍රවේශය තමයි වැදගත්. මනෝ විශ්ලේෂණය ඇතුළෙන් කියවනවද මාක්ස්වාදී විචාරය ඇතුළෙ කියවනවද වෙනත් මොකක්හරි පැත්තකින් ඒක විශ්ලේෂණය කරනවද කියන කාරණාව තුළ තමයි ඔබ කියන දෙය තීරණය වෙන්නෙ. මම හිත යොමුකරන්නෙ නිර්මාණය සඳහා පමණයි.  ඕන කරන එහි හැඩය වෙනස් වෙන්නෙ ලෝකය පිළිබඳ සමාජය පිළිබඳ ජීවිතය පිළිබඳ මගේ තේරුම් ගැනීම වර්ධනය වන දිශානතියත් එක්ක. ‘මාඝාත’ වගේ නාට්‍යයක් ගත්තොත් එහෙම ඒක කරනකොට අපි ආවේගශීලී තරුණයෝ. එතකොට තරුණයො වශයෙන් අපි සමාජය දකින විදිහයි දැන් අපි සමාජය දකින විදිහයි අතර පරතරයක් තියෙනවා. මට තියෙන ගැටලූව  ඕකයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයො හැටියට තරුණයො හැටියට අපේ ප‍්‍රතිචාරය අපි දැක්වුවා. නමුත් අද ඒක දක්නට ලැබෙන්නෙ නැහැ. මම අද තරුණ පරපුරෙන් අහන්නෙ අපි ඒ කාලෙ කළා වගේ ප‍්‍රතිචාරයක් දක්වන්නෙ නැත්තෙ ඇයි කියලා. තරුණ කාලෙ විතරයි විප්ලවවාදී කාරණා මතු කරන්න පුළුවන් ජවයයි, ශක්තියයි සහ නොඉවසුම් බව තියෙන්නෙ. ජීවිතේ පරිණත වෙනකොට මීට වඩා ගැඹුරින් දකින්න පුරුදු වෙනවා. ඒ පරිණාමය සිද්ධවෙන්නෙ ජීවිතෙත් එක්ක. නැතුව වෙන හේතුවක් නෙවෙයි. දෘෂ්ටිය ගත්තහම එදා හිටපු තැනයි අද ඉන්න තැනයි අතර විශාල වෙනසක් සිදුවෙලා නැහැ.

Q.ඔබේ ටෙලිනාට්‍ය සහ සිනමාවේ රූප රාමු පිළිබඳ අපි අධ්‍යයනයක නිරතවුණොත්, අපිට පේන දෙයක් තමයි මධ්‍යම රූපවලට සහ ලෝකකරණයට විශේෂ ස්ථානයක් ලබාදී තිබෙනවා. මේ හරහා කතන්දරයක් කීම පහසු වෙනවද?

A.මම ගොඩක් වෙලාවට රූපවාහිනී නිර්මාණ කරද්දී මධ්‍යම රූපයට එහා යන සමීප රූප යොදාගන්නවා. දැන් වෙනකොට විශාල ප‍්‍රක්ෂේපණ තිරය පමණක් පදනම් කරගෙන නෙවෙයි සිනමාව බිහිවෙන්නෙ. දැන් සිනමාශාලාවල ප‍්‍රදර්ශනය වන චිත‍්‍රපට අන්තර්ජාලය ඔස්සේ ඊට සමගාමීව නරඹන්න පුළුවන්. ඒ වගේම රූපවාහිනීයෙ සහ ජංගම දුරකතන හරහාද නැරඹිය හැකි වෙනවා. ඉතින් ඒකට ගැළපෙන්න රූප රචනයක් අපිට සකසා ගන්න වෙනවා. මෙම ප‍්‍රකාශය කරන්න ඒක තමයි රූප තෝරා ගනිද්දී දුර රූපයේ සිට අතිශය සමීප රූපයට එන්නෙත් නැතිව හැම මාධ්‍යයකටම ගැළපෙන රූප භාවිතාවක් යොදාගන්න හිතුවෙ.

Q.ඔබගේ නැගෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලි වෘත්තාන්තය පශ්චාත් සුනාමි තත්ත්වයන් පිළිබඳ මනා ප‍්‍රකාශයක් වුණා. දැන් ඔබ ‘ඉනි අවන්’ නිර්මාණය කර තිබෙන්නේ පශ්චාත් යුද තත්ත්වය මාතෘකා කරගෙන මෙම ප‍්‍රස්තුතවලට බොහෝ ලාංකේය අධ්‍යක්ෂවරුන් අතගසන්නේ නැහැ?


A.ඒකට එක හේතුවක් තමයි අපි ජීවත්වෙන සමාජයේ සිදුවන පරිවර්තනය. මම ‘මේ මගේ සඳයි’ නිර්මාණය කරන කාලෙ වෙනකොට පශ්චාත් යුද තත්ත්වයක් නෙවෙයි තිබුණෙ. එතකොට ඒ කාලෙ අඩුම තරමෙ සටන් විරාමයක්වත් ඇතිවෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. හැබැයි ඊට පස්සෙ පශ්චාත් යුද වාතාවරණයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. සමකාලීන සමාජයෙන් ගැළවෙන්න බැහැ. ඉතිං සමාජය ගමන් කරන ස්ථානය අනුව තමයි නිර්මාණයේ දිශාව තීරණය වෙන්නෙ.

Q.ඉනි අවන් පිළිබඳ අපි ගත්තොත් එහි ඇතුළත් වන්නේ යුද්ධය අවසන්වී පුනරුත්ථාපනය වී නැවත තම ගමට එන හිටපු ත‍්‍රස්තවාදී තරුණයෙක් පිළිබඳයි. මේ හරහා ඔබ විශාල සමාජ, දේශපාලන විග‍්‍රහයක් සිදු කරනවා?

A.මම කිසියම් පණිවුඩයක් සමාජයට ලබාදෙනවා යන මතයේ ඉන්නෙ නැහැ. මේ තරුණයා ආපහු ගමට පැමිණෙනවා. මෙම තරුණයාගේ ආගමනය චකිතයක් වෙනවා. ඒකට හේතුව වෙන මොකවත් නෙවෙයි ගමට අනුව ඔහු මියගිය තරුණයෙක්. බිත්තියෙ තරුණයාගේ ෆොටෝ එකක් ගහලා මල්මාලයක් දාලා තියෙනවා. තරුණයා කියන්නෙ මළ මිනියක්. අවතාරයක් එනවා වගේ තමයි ගමට එන්නෙ. ඒක තමයි ඒගොල්ලන්ගෙ ඇතිවන චකිතය. ඒක තමයි ආපහු ජීවිතය පටන්ගන්නෙ. ගම කි‍්‍රයාකරන්නෙ පශ්චාත් යුද තත්ත්වයෙන් අනතුරුවයි. සමහර විචාරකයන් මගෙන් අහනවා එහෙම ප‍්‍රතික්ෂේප කිරීමක් වෙන්න පුළුවන්ද කියලා. ප‍්‍රතික්ෂේප වීමක් නෙවෙයි තියෙන්නෙ චකිතයක්. මේ චකිතය තමයි තමන් වීරත්වයෙන් සලකලා මියගියා කියලා හිතපු කෙනෙක් නැවත අලූත් තත්ත්වයක් යටතේ යථාර්ථයේදී මුණගැහෙන්න ගන්නවා. ඒ හමුවෙන කෙනා මොන වගේ කෙනෙක් වෙයිද? මොනවගේ අවකාශයකටද මේ ගමන් කරමින් තියෙයිද කියන චකිතය තමයි මේ පේ‍්‍රක්ෂකයා තුළ දනවන්න උත්සහ කළේ. එය තේරුම්
නොගන්නා කෙනා සිනමාපටය තුළ හිරවෙනවා.

Q.‘දෙරණ ලක්ස්’ සිනමා සම්මාන උළෙලේදී ප‍්‍රධාන පෙළේ සම්මාන 6ක් දිනා ගැනීමට ‘ඉනි අවන්’ සමත් වෙනවා. සම්මානයට පාත‍්‍රවීම කෙබඳුද?

A.සම්මාන ලැබීම විශේෂ ආස්වාදයක් ලැබෙනවා නම් ඊට හේතු වන්නේ මෙම චිත‍්‍රපටයට සම්බන්ධ වන ශිල්පීන්ට සම්මාන ලැබීම. එය ඉතා වැදගත් අවස්ථාවක්. අපේ සිනමාව ඇතුළෙ යම් කිසි දවසක දමිළ මාධ්‍යයෙන් නිර්මාණය කළ සිනමාපටයකට සම්මාන ලැබී නැහැ. ඉතින් ඒක කිසියම් විදිහක බලාපොරොත්තුවක් රඳවයි සිනමාව කරන්න බලාගෙන ඉන්න දෙමළ තරුණ තරුණියන්ට. ඉනි අවන් ජාත්‍යන්තර සම්මාන උළෙලෙවල් රැසක් නියෝජනය කළා. ප‍්‍රථම වරට තිරගත කෙරුණේ ප‍්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලේ. අනතුරුව ටොරොන්ටෝ, ටෝකියෝ, ඩුබායි, කොරියා යන රටවල් ගණනාවක සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරනවා. තාමත් ප‍්‍රංශයේ චිත‍්‍රපට උළෙලවල ‘ඉනි අවන්’ නියෝජනය කරනවා. මේ වනවිට ලෝක සිනමාව සෙලියුලොයිඞ් පටලයෙන් ඉවත්වී ඩිජිටල් තාක්ෂණය දක්වා ගමන් කර තිබෙනවා. අපිට ඩිජිටල් තාක්ෂණය පැමිණියත් ඩිජිටල් තාක්ෂණයෙන් සිනමාපට තිරගත කිරීමට නොහැකි වී තිබෙනවා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්. ඩිජිටල් තාක්ෂණය සුලබ කරලා තියෙනවා. ඩිජිටල් තාක්ෂණයේ ප‍්‍රභේද තියෙනවා. නමුත් ඞී.වී. කැම් (DV-Cam) එකකින් සිනමාව කරන කෙනාටත් චිත‍්‍රපට කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ හින්දා මේක විශාල අවස්ථාවක්. අපි සිනමාපට කරන්න පටන්ගන්නා අවධියේ සෙලියුලොයිඞ් පටය හැරෙන්න වෙන දෙයක් තිබුණේ නැහැ. අද ජංගම දුරකතනයෙන් පවා නිර්මාණ කරන්න පුළුවන්. නමුත් එලෙස ඩිජිටල් තාක්ෂණයෙන් සිදු කරනා නිර්මාණ ප‍්‍රදර්ශනය කිරීමේ ක‍්‍රමවේදයක් නැහැ. අපේ සිනමාවේ ක‍්‍රමික වර්ධනයක්

No comments:

Post a Comment