Friday, October 18, 2013

ලක්ෂිත ප‍්‍රසාද් වීරසේන(Lakshitha Prasad Weerasena) interview

අපේ කණ්ඩායමේ එක්කෙනෙක්වත්  සිනමාපටයක් කිරීමට  මුහුකුරා ගිය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ - ලක්ෂිත ප‍්‍රසාද් වීරසේන(Lakshitha Prasad Weerasena) 


ලක්ෂිත ප‍්‍රසාද් වීරසේන යනු කෙටි සිනමාපට ක්ෂේත‍්‍රයේ වර්ෂ ගණනාවක සිට නමක් රඳවමින් සිටිනා දක්ෂ තරුණ නිර්මාණකරුවෙකි. ලක්ෂිත 2012 වර්ෂයේ තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ ශ‍්‍රී ලංකා තරුණ සිනමා අස්වැන්න කෙටි චිත‍්‍රපට තරගයේ දෙවැනි ස්ථානය හිමි කර ගත්තේය. ඒ ඔහු නිර්මාණය කළ ‘සුරේෂ්’ (2011) කෙටි චිත‍්‍රපටයටය. ‘සුරේෂ්’ කෙටි චිත‍්‍රපටය 2011 කොළඹ ජාත්‍යන්තර කෙටි චිත‍්‍රපට උළෙලේ ජූරියේ විශේෂ සම්මානයට පාත‍්‍ර විය. ‘ඇජෙන්ඩා 14’  සිනමා සම්මාන උළෙලේ අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි තරුණ සිනමාවේදියාට හිමි සම්මානය ලක්ෂිත දිනාන්නේ I Love Her/Him කෙටි චිත‍්‍රපටය වෙනුවෙනි. අනතුරුව ඔහු 2012 යුනිවොටෙක්  කෙටි චිත‍්‍රපට සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂවරයාට සහ හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනාගත්තේය.මේ වනවිට කෙටි චිත‍්‍රපට හතක් අධ්‍යක්ෂණය කර ඇති ලක්ෂිත ගීත රූප රචනා විශාල සංඛ්‍යාවක්ද අධ්‍යක්ෂණය කර ඇත.
  
Q.කවිය, ගීතය, නවකතාව ආදී ප‍්‍රකාශන මාධ්‍ය රැුසක් තිබියදී ඔබ කෙටි චිත‍්‍රපටය තෝරාගන්නවා. මීට හේතුව කුමක්ද?
A.ලංකාවේ කෙනෙක් කෙටි චිත‍්‍රපටයක් කරන්න පෙළඹෙන්නෙ මොන කාරණා හේතු කරගෙනද කියලා අපි පළමුව සිතිය යුතු වනවා. මොකද වෙනත් මාධ්‍ය  ඕනෑ තරම් තිබෙනවා තමන්ගේ ප‍්‍රකාශය ඉදිරිපත් කරන්න. බොහෝ පිරිසක් කෙටි චිත‍්‍රපට කරන්නෙ මෙම ක්ෂේත‍්‍රයට පැමිණීමේ බලාපොරොත්තුවෙන්. ඒ හරහා දිගු සිනමාවට පිවිසෙන්නෙ කොහොමද කියන සිහිනය දකිනවා. මම ඉන්නෙ ඒ වගේ මතයක නෙවෙයි. කෙටි චිත‍්‍රපටකරුවෙක්ව ලංකාව තුළදී ගණන් ගන්නෙ නැති මට්ටමක තියෙන්නෙ. හැබැයි ගෝලීය වශයෙන් කෙටි චිත‍්‍රපටකරුවෙක් යනු සැබෑම නිර්මාණකරුවෙක් වනවා. හැබැයි අපි ඉන්න තත්ත්වයත් එක්ක ඒ මහා සංස්කෘතිය ග‍්‍රහණය කරගන්නට නොහැකි වෙයි. මට තවම ජාත්‍යන්තර වශයෙන් සම්මාන ලැබිලා නැහැ. නමුත් ජාත්‍යන්තර වශයෙන් ඇගැයීම හරහා හෝ පිළිගැනීම හරහා කෙටි චිත‍්‍රපටකරුවෙක්ව නිශ්චිත ස්ථානයක ස්ථානගත වනවා. කෙටි චිත‍්‍රපටකරණය හරහා ලැබෙන අත්දැකීම් දිගු සිනමා නිර්මාණයකට පාදක වෙන්න පුළුවන්. නමුත් එය අත්‍යවශ්‍යතාවක් නොවෙයි.


Q.නමුත් අපි දන්නවා කාලයකට පෙර සිනමාවට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් පැමිණීමේදී කෙටි චිත‍්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කර තිබීම මූලික සුදුසුකමක් වුණා?

A.ඒක මටත් ගැටලූවක්. මොකද කෙටි චිත‍්‍රපට කරලා මට පැවැත්මක් ඇති වෙලා නැහැ. ශ‍්‍රී ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගයේදී තිබුණා කෙටි චිත‍්‍රපට දෙකක් නිර්මාණය කළොත් දිගු චිත‍්‍රපටයක් සඳහා අවස්ථාව ලැබෙනවා. එම කෙටි චිත‍්‍රපට කරන්නත්  ඕනෙ ‘සිනෙ’ මාධ්‍යයෙන්. දැන් ඒ තත්ත්වයන් නැහැ. ඩිජිටල් මාධ්‍ය ඔස්සේ මෙම ක්ෂේත‍්‍රයට පැමිණෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙලා තියෙනවා. හැබැයි මෙරට පවතින පහසුකම් සමග එම තත්ත්වය ඇහිරී තිබෙනවා. මොකද ඩිජිටල් සිනමාවට ලංකාව තුළ තැනක් ලැබී නැහැ.


Q.අපි දකිනවා බොහෝ රූප මාධ්‍යයෙන් නිර්මාණ කරගන්න නිර්මාණකරුවන් තම නිර්මාණ තුළම වඳ භාවයට පත් වෙනවා. ඔබ මොන වගේ ක‍්‍රියා මාර්ගද ගන්නෙ මෙම අසාර්ථක වීමෙන් ගැලවීමට?

A.මම කෙටි චිත‍්‍රපටයක් කරද්දී වැඩිපුරම සැලකිලිමත් වෙන්නෙ තිර රචනයටයි. තිර රචනාවේදී අවස්ථා, සිද්ධි, දෙබස් කුමනාකාරයෙන් තිබෙනවාද, ඒවායේ උචිත අනුචිත බව කොහොමද කියන කාරණා විශේෂයෙන් සැලකිලිමත් වනවා. අනෙක් කාරණය තමයි මගේ ප‍්‍රස්තූතවලට කතා නිර්මාණය වන්නේ අත්දැකීම් ආශ‍්‍රයෙන්. කෙටි-වාර්තා චිත‍්‍රපටයක් නිර්මාණය කරනවා නම් ඒ සඳහා දිගු කාල පරාසයක් ගන්නවා අධ්‍යයනය කරන්න. දිගු සමීක්ෂණයක් කරනවා අදාළ ප‍්‍රස්තූතය පිළිබඳ. ඇතැම් කෙටි චිත‍්‍රපට රචනා කිරීමට මාස හයක් වැනි දිගු කාලයක් ගතවනවා. එය ඉතා වෙහෙසකර කටයුත්තක්. නමුත් සෑම දෙයක්ම පරිපූර්ණ නොවුණහොත් තිර රචනාවේ අඩුපාඩු මතුවෙනවා. අත්දැකීමක් ආශ‍්‍රයෙන් කෙටි චිත‍්‍රපටයක් නිර්මාණය කිරීමේදී ඇතැම් අවස්ථාවල අදාළ සිද්ධියට හෝ අවස්ථාවට සම්බන්ධ වූ පුද්ගලයන් හමුවෙලා ඔවුන්ගේ අත්දැකීම් උකහා ගන්න උත්සහ කරනවා. ලංකාව ඇතුළෙ තිර පිටපත් පිළිබඳ ප‍්‍රශ්නයක් පවතිනවා. ඒ තුළ හොඳ තිරපිටපත් නැති තරම්. මොකද හොඳ තිරපිටපතකට අත්දැකීම් විතරක් මදි. ඒ සඳහා විශාල අධ්‍යයනයක් සිදුකළ යුතු වෙනවා.ඕකට හොඳ උදාහරණයක් මං කියන්නම්. බොලිවුඞ් අධ්‍යක්ෂ අනුරග් කාශ්‍යප් ලංකාවට ආපු වෙලාවේ අපි සමග මෙහෙම කිව්වා. ‘කෙනෙක්ට තම මනස ඒකාග‍්‍රතාවකින් ලියන්න පුළුවන් නම් ඒක තමයි තිරපිටපත’ කියලා. ඔහු තව දෙයක් කිව්වා ‘සිනමා පාසල් හරහා කරන්නෙ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පීඩනය වැඩි කිරීමක්’ කියලා. ඔහුගේ මතය තිබුණේ සිනමා පාසලක් අවශ්‍ය නැහැ ඒ වෙනුවට ස්වයං අධ්‍යයනයකින් සිනමාව හදාරන්න සහ එවිට සිනමාව කරන්න පුළුවන් කියලා. ඔහු කියනවා ඔහු තිර පිටපතක් රචනා කරලා ඒක හොඳ නැහැ කියලා හිතුණොත් වීසි කරනවා කියලා. අපේ රටේ වෙන්නෙ හැදෑරීමකට වඩා උඩින් අහුලාගත්ත දේවලින් තිර පිටපත් රචනා කිරීම. ඒක අපිට පැහැදිලිව දකින්න පුළුවන් මෙරට සිනමා කර්මාන්තය දිහා බලපුවාම. ලංකාවේ හොඳ මට්ටමේ පවතින්නෙ කොයි තරම් සීමිත සිනමාපට සංඛ්‍යාවක්ද.

Q.අපේ සිනමාව තුළ විශිෂ්ට අධ්‍යක්ෂවරුන් බිහි වී තිබෙනවා. තරුණ සිනමාකරුවන්ට ඔවුන්ගෙන් ලැබෙන උපකාර ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?

A.මේ ක්ෂේත‍්‍රය තුළ විශාල ගැටලූ තියෙනවා. විශේෂයෙන් මානුෂීය සබඳතා තුළ. උදාහරණයක් විදිහට අලූතින් බිහිවන සිනමාකරුවන් කීයෙන් කීදෙනාටද ක්ෂේත‍්‍රයේ පරණ අයගෙන් උදව් ලැබෙන්නෙ. ප‍්‍රවීණ යැයි කියා ගන්නා අයගෙන් බොහෝ දෙනෙක් ආත්මාර්ථකාමියි. මං අහන්නෙ දක්ෂ තරුණ නිර්මාණවේදීන්ගේ තිරපිටපතක් හෝ තේමාවක් අරන් සිනමාපටයක් කරන්න උදව්වක් කරන්න බැරිද? ඒකෙදී කරන පුද්ගලයා වැදගත් නැහැ. මං කියන්නෙ එහෙම කරලා අපිට ජාත්‍යන්තර සිනමා උළෙලවලට සිනමාපට යවන්න පුළුවන්. මං කියන්නෙ නැහැ ඒවයින් ජයග‍්‍රහණ කරන්නම  ඕනෙ කියලා. නමුත් ඒ හරහා තරුණ නිර්මාණ ශිල්පීන්ට අවස්ථාවක් උදාවෙනවා. සමහර වෙලාවට අපි රචනා කරන තිරපිටපත සාකච්ඡුා කරගන්න ප‍්‍රවීණයකුගෙන් වෙලාව වෙන් කර ගන්න පවා අපහසු වෙලා තියෙනවා. සමහර වෙලාවට එහෙම සාකච්ඡුා කෙරුවට පස්සෙ අලූතෙන් කෙටි චිත‍්‍රපටකරුවෙක් වශයෙන් එන්න ඉන්න කෙනා එය අතහැර දානවා. මේ තත්ත්වය හරිම කනගාටුදායකයි.

Q.ඔබ කිව්වා සිනමා පාසලකින් සිදුවන විශාල කාර්යයක් නැහැ කියලා.සිනමාව පිළිබඳ ඇකඩමියාවක හිටපු ඔබ එහෙම චෝදනා කරන්නෙ ඇයි? මොකක්ද මෙතන තියෙන අඩුපාඩුව?

A.සිනමාව කියන්නෙම තනිවම ඉගෙනගත යුතු දෙයක්. මම ‘ඩිජිටල් මීඩියා ඇකඩමි’ එකේ පළමු කාණ්ඩයේ හදාරපු කෙනෙක්. ඇත්තටම අපේ කණ්ඩායමේ එක්කෙනෙක්වත් දිගු සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට තරම් මුහුකුරා ගිය තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි ඔය තත්ත්වයෙන් මිදෙන පිරිසක් ඉන්නවා. නමුත් ඔවුන්ටත් තම හැකියාව ප‍්‍රදර්ශනය කරන්න අවස්ථාවක් නැහැ. මොකද ඔවුන්ගේ නිර්මාණ සඳහා මුදල් යොදවන්න කෙනෙක් නැහැ. මට ලක්ෂ 10ක් දෙනවා නම් දිගු-සිනමාපටයක් කරන්න සූදානම්. ඇත්තටම ලක්ෂ 10ක් කියන්නෙ ‘නෝ බජට්’ ෆිල්ම් එකක්.

Q.ඔබගේ සිනමා නිර්මාණ සඳහා කුමන නිර්මාණ ශිල්පීන්ගේ බලපෑමක් සිදුව තිබෙනවාද?

A.මගේ නිර්මාණවලට බලපෑ අධ්‍යක්ෂවරු ගණනාවක් සිටිනවා. අනුරග් කාශ්‍යප් එක්කෙනෙක්. කොරියානු අධ්‍යක්ෂ කිම්-කී-දුක් තවත් කෙනෙක්. ඒ වගේම කාලොස් රෙගොඩාස්ගේ සිනමා ශෛල්‍යය බොහෝ ප‍්‍රිය කරනවා. ලංකාවේ නම් අශෝක හඳගමගෙ සිනමා නිර්මාණවලට විශාල කැමැත්තක් දක්වනවා. හැබැයි මම අනුකරණය කරන්නේ නැහැ. ඔහුන්ගේ නිර්මාණ මගේ නිර්මාණ සඳහා බලපා තියෙන්න පුළුවන්. ඒ වෙන්නෙ අනුගමනය කිරීම හරහායි. මොකද මේ එක් එක් සිනමාකරුවන්ට ඔවුන්ටම ආවේණික සිනමා රීතීන් පවතිනවා. මම අනුරග් කාශ්‍යප්ට කැමැති වෙන්නෙ ඔහු යථාර්ථය ඒ ආකාරයෙන්ම තිරයට ගේන්න සමත් වෙනවා. අනුරාග් කාශ්‍යප් විශාල වශයෙන් කැමරා තාක්ෂණය හෝ වෙනත් තාක්ෂණයන් භාවිත කරන්නේ නැහැ. නමුත් ඔහුගේ ප‍්‍රකාශනය ප‍්‍රබලයි. ‘කිම්-කී-දුක්’ගෙ සිනමාපටවල ඔහු කතන්දරය ගලපා ඇති ආකාරය විශිෂ්ටයි. මොකද ඔහුගේ තියෙන්නෙ ළයාන්විත රිද්මයක්. අශෝක හඳගම ගත්තොත් ඔහුගේ දෙබස් රචනය ඉතා ප‍්‍රබලයි.

Q.ඉහත සඳහන් කළ විදේශීය අධ්‍යක්ෂවරු තමන්ගේ පේ‍්‍රක්ෂකාගාරය ගැන හොඳින් දැන හිටියා. ලංකාව තුළ මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

A.අපේ බොහෝ නිර්මාණකරුවෝ හඳුනන්නේ නැහැ ලංකාවට ගැළපෙන්නෙ කුමනාකාර නිර්මාණද කියලා. මම දැකපු ලංකාවට ගැළපෙන සිනමා නිර්මාණ දෙකක් තියෙනවා. ඒ උභර්තො පැසලොනි කරපු ‘මචං’ චිත‍්‍රපටයත්, බුඩි කීර්තිසේන කරපු ‘මිල්ලෙ සොයා’ චිත‍්‍රපටයත් ‘මචං’ සියයට සියයක් ලංකාවේ සිනමාපටයක් නෙවෙයි. එය අධ්‍යක්ෂණය කරන්නෙ ඉතාලි ජාතිකයෙක්. හැබැයි ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු ‘ඉර මැදියම’ චිත‍්‍රපටයත් ලාංකේය සමාජයට ආමන්ත‍්‍රණය කරන්න උත්සහයක් අරන් තියෙනවා.

Q.මේ වනවිට කෙටි චිත‍්‍රපටකරුවන් 2000ක් පමණ ලංකාව පුරා විසිර සිටිනවා. නමුත් ඉන් බහුතරයකට සිනමාත්මක යොමුව පිළිබඳ ගැටලූ පවතිනවා. හොඳ නිර්මාණ බිහිවෙනවාට වඩා කුමක් හෝ දෙයක් කිරීම රටාවක් බවට පත්වෙලා තියෙන්නෙ. ඔබට සමගාමීව ඉන්න බොහෝ නිර්මාණකරුවන්ට මෙය සිදුවෙලා තියෙනවද?

A.මේ ක්ෂේත‍්‍රයේ තියෙන දෙයක් තමයි තමන්ව ‘මාකට්’ කරගන්නෙ කොහෙමද කියන එක. මොකද ක්ෂේත‍්‍රයේ පවතින තරගකාරී බවත් එක්ක බොහෝ දෙනෙක් බොහෝ වැඩ කරමින් ඉස්මතුවීමට උත්සහ කරනවා. මේ නිසා හැම කෙනාම මාකට් වෙන්න බලාගෙන නිර්මාණ කරන්න උත්සහ කරනවා. ඒ නිසා තවත් කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්ද කියලා මට ගැටලූවක් තියෙනවා. හැබැයි ‘මාකට්’ වෙන්න කැමැති නැති කෙනා මේ තරගයට ඇතුළු වෙන්නෙ නැහැ. අපි ප‍්‍රකාශනයක් කරන්නෙ ඇයි? ඒක කරන්නෙ කොහොමද? අපි ඒ දේ කරන්නෙ එම ප‍්‍රකාශනය එළියට දාන්නම අවශ්‍යතාවක් අප තුළ නලියන නිසා. ප‍්‍රකාශනයට තමන් කොයි තරම් කැප වෙනවද කියන කාරණය තමයි නිර්මාණයක හොඳ නරක තීරණය වන්නෙ. හැබැයි අද වනවිට කවුරුන් හෝ කුමන ආකාරයේ නිර්මාණයක් කළත් එය ජනතාව පිළිගන්නවද, නැද්ද යන කාරණය කල්පනා කරලා බලන්න  ඕනෙ. තමන් දන්න දෙය තමන්ට දැනෙන දෙය සාර්ථකව ප‍්‍රකාශ කරන්න හැකි වෙන්න  ඕනෙ. මං පිළිගන්න දෙයක් තියෙනවා, ඒ තමයි මට වඩා දක්ෂ පිරිසක් නිර්මාණකරණයේ නිරත වෙනවා. මගේ වාසනාවට හෝ කිසියම් ගුණාත්මක භාවයකට මට සම්මාන ලැබිලා තියෙනවා. කෙටි චිත‍්‍රපටකරණයම සාමූහික ක‍්‍රියාදාමයක්. ඒ නිසා එකිනෙකා අතර සහයෝගිතාව අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ලංකාවේ අපි කරන්නෙ ළිඳක් ඇතුළෙ ඉඳලා ගෙම්බො ටිකක් එකතුවෙලා ළිං කටින් එළියට පනින්න බලනවා වගේ කාරණයක්. ළිඳෙන් උඩට පනින එක තීරණය වන්නෙ සහයෝග ය මත.

No comments:

Post a Comment