Monday, November 19, 2012

Yash Chopra - යෂ් චොප්රා

► නම - යෂ් රාජ් චොප්රා
► උපන්දිනය - 1932 සැප්තැම්බර් 27
► මවුපියන් - පියා ගණකාධිකාරිවරයෙක් වූ අතර මව පන්ජාබ් ගෘහණියක් විය.
► ක්ෂේත‍්‍රයට සම්බන්ධ සහෝදරයන් -
බී.ආර්. චොප්රා හා ධරම් චොප්රා
► සිනමාවට සම්බන්ධවීම -
සහය අධ්‍යක්‍ෂවරයෙක් ලෙස
‘එක් හි රාස්තා- 1956
‘නයා ඩවුර්’- 1957
‘සාධ්නා’- 1958
► ප‍්‍රථම අධ්‍යක්‍ෂණය -
‘ඩූල් කා පූල්’  - 1959
► හොඳම අධ්‍යක්‍ෂණයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මාන ගත් සිනමා කෘති -
‘වක්ත්’ - 1965
අයිටෙෆක්’  - 1969
‘ඩාග්’  - 1973
‘ඞීවාර්’  - 1975
► හොඳම සිනමා කෘතියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ගත් කෘති -
● ‘ඩිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගි’ - 1995
● ‘ඩිල්තො පාගල්හේ’  - 1997
● ‘වීර් සාරා’ - 2004
► වාණිජමය අතින් සාර්ථකම සිනමාපටය -
ඉන්දීය රුපියල් කෝටි 94 ‘වීර් සාරා’
► ගරු සම්මාන - ● පද්ම භූෂණ සම්මානය
● පුසාන් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී 2009 වසරේ සිනමාකරුවා සම්මානය
● ප‍්‍රංශයේ ඉහළම සිවිල් පුරවැසියාට ලබාදෙන ‘ලේජන් ඔෆ් හොනර්’  සම්මානය
● බී.බී.සී. ආසියානු සම්මාන උළෙලේ දෙවරක්ම සම්මාන ලැබීම.
● 2006 පූරන් සිනමා සම්මාන උළෙලේ සිනමාව වෙනුවෙන් ජීවිත කාලයේ එක්වරක් ලබාදෙන සම්මානයට පාත‍්‍ර වීම.
●ලීඞ්ස් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ලබාදීම.
► බිරිඳ - පැමෙලා සින්ග් චොප්රා (1970 සිට)
► දරුවන් - ආදිත්‍ය චොප්රා (1971 මැයි 21)
උදය චොප්රා (1973 ජනවාරි 5)
► මරණය - 2012 ඔක්තෝබර් 21
► මරණය - 2012 ඔක්තෝබර් 21

‘යෂ් චොප්රා ඉන්දීය සිනමාවේ අනන්‍යතාවයි. ඔහුගේ මරණය බොලිවුඞ් සිනමාවට මෙන්ම ඉන්දියාවට ද බලවත් පාඩුවක්’ - ඉන්දීය අග‍්‍රාමාත්‍ය මන්මෝහන් සිං

වරෙක ඉතාලියානු අධ්‍යක්‍ෂ ජින්ලූක් ගොඩාර්ඞ් සිනමාව පිළිබඳ පැවසුවේ ලෝකයේ විශිෂ්ටතම බොරුව සිනමාව බවයි. ඔහු එය පැවසුවේ හේතුවක් සහිතවය. එනම් සිනමාව යථාර්ථය ප‍්‍රතිනිර්මාණය කරන්නේ මායාරූපී ලක්‍ෂණ සහිතවය. එවන් මායාමය සිනමාවකට බොලිවුඞ් සිනමාව අතගැසුවේ අද ඊයෙක නොවෙයි. 1914 වර්ෂයේදී බොලිවුඞ් සිනමාවේ පළමු වෘත්තාන්ත සිනමාපටය ‘ඩඩා සහාබ් පල්කේ’ අධ්‍යක්‍ෂණය කළේය. එය ‘රාජා හරිච්චන්දු’ නම් විය. අයි.එස්. ජොහාර් නම් අධ්‍යක්‍ෂවරයා සිය සිනමා කෘතීන් නිර්මාණය කරන්නේ මෙම අවධියේදීය. යෂ් චොප්රා නම් අද්විතීය සිනමාවේදියා බිහිවීමේ පදනම වැටෙන්නේ අයි.එස්. ජොහාර්ගේ මඟ පෙන්වීම යටතේය. හින්දි සිනමාවට එකතුවන යෂ් චොප්රා සිනමා නිර්මාණ විසිදෙකක් අධ්‍යක්‍ෂණය කරන අතර සිනමා කෘති පනස් තුනක් නිෂ්පාදනය කිරීමට දායක වන්නේය. ඔහු අතිවිශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක් වන්නේ දශක පහකට අධික කාලයක් හින්දි සිනමාවේ නොමැකෙන අපූර්ව සෞන්දර්යයන් රැුගත් සිනමා කෘති නිර්මාණය කළ අධ්‍යක්‍ෂවරයකු බවට පත්වීම තුළිනි.

යෂ් චොප්රා උපත ලබන්නේ අද පාකිස්තානයට අයත්වන ලාහෝර්වලදීය. ඒ 1932 සැප්තැම්බර් 27 වැනිදායි. ඔහුගේ පියා ගණකාධිකාරීවරයකු වූ අතර පවුලෙ අටවැන්නා හෙවත් බාලයා වශයෙන් යෂ් චොප්රා උපත ලැබීය. කුඩා කාලයේ සිටම ඔහුට සිනමාව හා සහසම්බන්ධයක් තිබුණේ බී.ආර්. චොප්රා නිසාය. බී.ආර්. චොප්රා යෂ් චොප්රාට වඩා වසර දහඅටකින් වැඩිමහලූ වූ අතර වෘත්තියෙන් සිනමාව පිළිබඳ ලිපි සම්පාදනය කළ මාධ්‍යවේදියෙක් විය. මේ අතර පනහ දශකයේ අග භාගයේදී බී.ආර්. චොප්රා හින්දි සිනමාවට අවතීර්ණවී අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් ක‍්‍රියා කිරීම ආරම්භ කළේය. එවකට විසිපස් වියැති තරුණයකුව සිටි යෂ් චොප්රා ඉංජිනේරුවෙක් වීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත විය. නමුත් එය අතරමඟදී නතර කළ ඔහු සිය වැඩිමහලූ සොහොයුරාගේ ආරාධනයෙන් 1957 වර්ෂයේදී ‘නායා ඩවුර්’ නම් චිත‍්‍රපටයේ සහය අධ්‍යක්‍ෂවරයා වශයෙන් සිය කටයුතු ආරම්භ කළේය. මේ වනවිට ඉන්දියාව දෙකඩවී තිබූ අතර චොප්රා පවුල ඉන්දියාවේ පන්ජාබ්හි ලූසියානාහි පදිංචියට පැමිණ සිටියේය. මෙම සමය හින්දි සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස විචාරකයන් සලකන්නේ 1940-1960 කාල සීමාවේදී බිහිවූ විශිෂ්ට සිනමා නිර්මාණ හේතුවෙනි. මෙම කාලයේදී සුපිරි තරු සංකල්පය බොලිවුඞ් සිනමාවේ ස්ථාපිත වූ අතර නළු නිළියන් ඔවුනොවුන් පරදවමින් තම දක්‍ෂතා මත වාණිජකරණය වීම ඇරඹී තිබුණි. සිය සොහොයුරුගේ සිනමා නිර්මාණ දෙකක සහය අධ්‍යක්‍ෂවරයා වශයෙන් කටයුතු කළ යෂ් චොප්රා හට අධ්‍යක්‍ෂවරයෙක් වශයෙන් කලඑළිබැසීමට අවස්ථාව උදාවන්නේ සිය සොහොයුරා වන බී.ආර්. චොප්රා නිෂ්පාදනය කරන ‘ඩූල් කා පූල්’ -1959 වර්ෂයේදී අධ්‍යක්‍ෂණය කරමිනි. මෙම සිනමා කෘතියෙහි මාලා සිංහ, රාජේන්ද්‍ර කුමාර් සහ ලීලා චිට්නිස් රංගනයෙන් දායක වූහ. මෙය එකල පැවති චිත‍්‍රපටවලට වඩා වෙනස් සමාජ තේමාවක් රැුගත් කෘතියක් විය.

එම සිනමාපටයේ සාර්ථකත්වය මත තම සිනමා දිවිය පුළුල් කිරීමට යෂ් චොප්රා පියවර ගත්තේය. ඒ අනුව ඔහු 1961 වර්ෂයේදී ‘ධර්මපුත‍්‍ර’  චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නේ බී.ආර්. චොප්රාගේම නිෂ්පාදනයක් අනුවයි. මෙහි ශෂී කපූර් ප‍්‍රධාන චරිතය නිරූපණය කළේය. එහිදී යෂ් චොප්රා ඉන්දීය ජනරජය බෙදා වෙන්කිරීම පිළිබඳ පුළුල්ව සාකච්ඡුාවට බඳුන් කළේය. මෙය ශෂී කපූර්ගේ ප‍්‍රථම සිනමා කෘතිය විය. යෂ් චොප්රා තරු බිහිකරන අධ්‍යක්‍ෂවරයෙක් බවට හඳුනාගන්නේ මෙම සිනමා නිර්මාණයෙන් අනතුරුවයි. ‘ධර්මපුත‍්‍ර’ සිනමා නිර්මාණය ප‍්‍රදර්ශනය වීම ඇරඹීමත් සමගම ඉන්දියාව පුරා උද්ඝෝෂණ සහ ජනරැුළි සංවිධානය වූයේ එහි පැවති දේශපාලනික පසුබිමට විරෝධතාව පළකරමිනි. මෙම චිත‍්‍රපටය ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම වෘත්තාන්ත සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේය. චිත‍්‍රපටය සාර්ථකව ආදායම් වාර්තා බිඳදමමින් ප‍්‍රදර්ශනය වූවත් යළිත් දේශපාලන තේමාවක් රැුගත් සිනමා කෘතියක් නොකිරීමට යෂ් චොප්රා තීරණය කළේය.

ඒ අනුව 1965 වර්ෂයේදී ‘වක්ත්’ නිර්මාණය කරන්නේ නළුවන් තිදෙනෙක්, නිළියන් තිදෙනෙක් සහ දුෂ්ටයන් තිදෙනෙක් රංගනය සඳහා දායක කරගනිමිනි. තරු රැුසක් සහභාගි කරගෙන සිනමා නිර්මාණ බිහිකිරීමේ මූලාරම්භය සිදුවූයේ ‘වක්ත්’ හරහායි. එවකට අතිසාර්ථක නළුවෝ වූ සුනිල් දත්, රාජ් කුමාර්, ශෂී කපූර් සහ අතිසාර්ථක නිළියෝ වූ සධානා, ෂර්මිලා තාගෝර් මෙහි චරිත නිරූපණය කළහ. ඉන්දීය සිනමාවට ‘අහිමි වීම සහ සොයාගැනීම’ යන ෂොනරය ආගමනය සිදුවූයේ ‘වක්ත්’ ඔස්සේය. ‘වක්ත්’ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය දිනාගත්තේය.

මෙතෙක් සිය සොහොයුරා සමග සහයෝගයෙන් සිනමා නිර්මාණය කළ ඔහු අනතුරුව තමන්ගේම සමාගමකින් සිනමා කෘති නිපදවීමට තීරණය කළේය. යෂ් චොප්රා සිය විවාහ දිවියට එක්වන්නේද මෙම කාලයේදීයි. ඔහු 1970දී පැමෙලා සිංග් හා විවාහ විය.
1971 අනතුරුව ඔහු සිය නිෂ්පාදන සමාගමෙන් සිනමා කෘති නිපදවීම ආරම්භ කළේය. ඒ අනුව 1973 වර්ෂයේ ‘ඩාග්’ සිනමා කෘතිය ප‍්‍රදර්ශනය කිරීමට යෂ් චොප්රා සමත් වන්නේය. මෙය කල්ට් වර්ගයේ චිත‍්‍රපටයක් වන අතර අමිතාබ් බච්චන් නළුවෙක් වශයෙන් බොලිවුඩයේ ස්ථාවර කිරීමට ‘ඩාග්’ සමත්විය. බිරින්දෑවරු දෙදෙනෙක් සහිත ස්වාමිපුරුෂයකුගේ කතාන්දරයක් ‘ඩාග්’ හරහා දිගහැරුණි. මෙහි තිරපිටපත සලීම් සහ ජාවෙඞ් විසින් රචනා කරන ලදී. යෂ් චොප්රා ‘ඩාග්’ සිනමා කෘතියෙන් අනතුරුව අමිතාබ් යොදා ‘ඞීවාර්’  නිර්මාණය කළේය. යෂ් චොප්රා සහ අමිතාබ් සුසංයෝජනයෙන් සාර්ථක සිනමා නිර්මාණ පිටතට ආවේය. ඒ නිසා අමිතාබ් බච්චන් සුපිරි තරුවක් ලෙස ස්ථානගත විය.

අපි කාටත් මතකයේ රැුඳෙන ගීයක් වූ ‘කබී කබී මෙරි දිල් මෙ’ රැුගත් ‘කබී කබී’  සිනමා කෘතිය යෂ් චොප්රා නිර්මාණය කරන්නේ 1976 වර්ෂයේදීය. මෙය යෂ් චොප්රාගේ සිනමා දිවියේ හැරවුම් ලක්‍ෂ්‍යක් විය. මෙතෙක් සමාජ ගැටලූ පිළිබඳ කල්ට් සිනමා කෘතීන් නිර්මාණය කරමින් සිටි චොප්රා රොමෑන්ටික් සිනමා නිර්මාපකයෙක් වශයෙන් සමාජගත වූයේ ‘කබී කබී’ හරහායි. අනතුරුව 1981දී ‘සිල්සිලා’ නිර්මාණය කරන යෂ් චොප්රාට අසූව දශකයේ මැද භාගයේදී සිය සාර්ථකත්වය දිගටම පවත්වාගෙන යාමට නොහැකි විය. ඔහු 1984 නිර්මාණය කරන ‘මෂූල්’ සහ ‘ෆාස්ලේ’ කෘතීන් වාණිජමය වශයෙන් අසාර්ථක වෙයි.

‘යෂ් චොප්රාගේ අනන්‍යතාව’ සැකසෙන්නේ චාන්ද්නි සිනමා කෘතිය හරහාය. මෙහිදී එතෙක් බොලිවුඞ් සිනමාවේ පැවති නළුවා මූලික කතාන්දරය වෙනස් වන අතර නිළිය(ශ‍්‍රී දේවි) මූලිකත්වයට පැමිණෙයි. එසේම රොමෑන්ටික් සංගීතයෙන් අනූනව සිනමා නිර්මාණය එළිදැක්වීමට යෂ් චොප්රා කටයුතු කරන්නේය. මෙම සිනමා කෘතිය ජාතික සිනමා සම්මාන උළෙලේ ජනප‍්‍රියම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට සමත් විය.

අනතුරුව 1991දී යෂ් චොප්රා ‘ලම්හේ’  නිර්මාණය කරන අතර 1993දී ‘ඩර්’  සහ 1997දී ‘දිල්තො පාගල් හේ’  නිර්මාණය කරයි. මෙම සිනමා කෘතීන් තුනම අතිශය ජනප‍්‍රිය වන අතර බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප‍්‍රදර්ශනය විය.
යෂ් චොප්රාගේ වඩාත්ම සාර්ථක සිනමා කෘතියක් ලෙස සැලකෙන්නේ 2004 වර්ෂයේදී තිරගත වූ ‘වීර් සාරා’  සිනමා කෘතියයි. ෂාරුක් ඛාන්, ප‍්‍රීති සින්ටා සහ රාණි මුඛර්ජි ප‍්‍රධාන චරිතවලට පණපොවන ‘වීර් සාරා’ විචාරක හා පේ‍්‍රක්‍ෂක පැසසුම්වලට ලක්කරමින් ලොව පුරා ප‍්‍රදර්ශනය වන අතර ඉන්දීය රුපියල් මිලියන 940ක ආදායමක් ලැබීය.

යෂ් චොප්රා මිය යනවිට ඔහුගේ අවසාන සිනමා නිර්මාණය වූ ‘ජබ් තක් හේ ජාන්’හි තිරගත කිරීමේ කටයුතුවල නිරත විය. ‘ජබ් තක් හේ ජාන්’ ෂාරුක් ඛාන්, කත‍්‍රිනා කයිෆ් සහ අනුෂ්කා ෂර්මා රංගනයෙන් දායක වන රොමෑන්ටික් සිනමාපටයකි. අවසාන සිනමා කෘතිය ජනතාව වැළඳගන්නා අයුරු බලාගැනීමට යෂ් චොප්රාට නොහැකි වන්නේ ඩෙංගු මාරයාට ඔහු බිලිවීම නිසාය. ඔහු ඔක්තෝබර් 21 වැනිදා සදහටම දෑස් පියාගත්තේය.

අමිතාබ් බච්චන් වසර හතළිස් හතරක් පැරැුණි සිය මිතුරා පිළිබඳ පවසා ඇත්තේ ඔහු බොලිවුඞ් සිනමාවට අත්‍යවශ්‍යම පුද්ගලයෙක් බවයි. බොලිවුඞ් සිනමාවේ දිගම කාලයක් අතිසාර්ථක වූ අධ්‍යක්‍ෂවරයා වශයෙන් යෂ් චොප්රා සැලකෙයි. ඔහුට ෆිල්ම් ෆෙයාර් සම්මාන 11ක් ලැබී ඇති අතර 2005 වසරේ ඉන්දීය සිනමාවට සිදුකළ විශිෂ්ට මෙහෙය වෙනුවෙන් පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. ඊට අමතරව ඉන්දියාව තුළත් ඉන් පිටත් ගෞරව බහුමානයන් රැුසකින් යෂ් චොප්රා පිදුම් ලබා තිබේ. කල්ට් සිනමාකරුවකුගේ සිට රොමෑන්ටික් සිනමාවේ රජු වශයෙන් විරුදාවලියක් ලැබීමට තරම් යෂ් චොප්රාගේ සිනමා නිර්මාණ වින්දනීය විය. රමණීය විය. ඇත්තෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් යෂ් චොප්රා යනු අද්විතීය විශිෂ්ටයෙකි. ඔහු තරග කළේ තමන්ගේ වයසින් අඩකටත් අඩු නිර්මාණකරුවන් සමගය. එම සොඳුරු සටනේදී අනෙකුත් තරුණ බොලිවුඞ් නිර්මාණකරුවන් අබිබවා මෙම සොඳුරු සෞන්දර්යවේදියා ජයග‍්‍රහණය කළේය.



No comments:

Post a Comment