Friday, November 16, 2012

Ignazio Silone



විප්ලවවාදී රචකයෙක්මොළයට ඍජුවම පහරදෙනවා

- ඉග්නාග්සියෝ සිලෝනෙ


ඉග්නාග්සියෝ සිලෝනෙ  යනු ලොව පුරා බොහෝ දේශපාලන සංවිධානවල අත්පොතක් බඳු වූ ෆොන්ටමාරා කෘතියේ කර්තෘවරයා වෙයි. ඔහු 1900 මැයි පළමුවැනිදා ඉතාලියේ පෙන්සිනානගරයේදී උපත ලැබීය. 1915 දී ඉතාලියට බලපෑ දරුණු භූමිකම්පාවෙන් ඔහුගේ මව මිය ගිය අතර, ඔහුගේ පියා 1911දී මිය ගියේය. යොවුන් වියේ සිටම දේශපාලනයට ඇල්මක් දැක්වූ සිලෝනෙ ‘තරුණ සමාජවාදී කණ්ඩායම’ නමින් හඳුන්වන ලද ඉතාලියේ සමාජවාදී පක්ෂයේ කොටසක් සමග සම්බන්ධ විය. 1921දී ආරම්භ කරන ලද එම පක්ෂයේ මුල්කාලීන ක‍්‍රියාකාරී සාමාජිකයෙක් බවටද සිලෝනෙ පත්විය. 1927දී ඔහු පක්ෂයේ මෙහෙයුමක් සඳහා සෝවියට් රුසියාවට යන අතර 1930දී ස්විස්ටර්ලන්තයේ පදිංචිවෙයි. 1978 අගෝස්තු 22 වැනිදා සිලෝනෙ මියයන තෙක් ඔහුගේ ජීවිතයේ බොහෝ කාලයක් ගතවන්නේ ස්විස්ටර්ලන්තයේය.
1930දී ස්විස්ටර්ලන්තයේ පදිංචි වූ මුල් සමයේ සිලෝනෙ ‘ෆොන්ටමාරා’  කෘතිය එළි දක්වන ලදී. අනතුරුව ‘ෆැසිසිසම් - ඉට්ස් ඔරිජින් ඇන්ඞ් ඩිවලොප්මන්ට්’ , ‘බ්‍රේඞ් ඇන්ඞ් වයින්’, ‘ද ස්කූල් ෆො ඩික්ටේටර්ස්’, ‘ද ලිවින් තෝට් ඔෆ් මැසිනි’ , ‘ද සීඞ් බිනීත් ද ස්නෝව්’ , ‘ද ගෝඞ් දැට් ෆේල්ඞ්’ , ‘ඉමර්ජන්සි එක්සිට්’ , ‘ස්ටෝරි ඔෆ් අ හම්බල් ක‍්‍රිස්ටියන්’ ආදි කෘති රැසක් රචනා කරන ලදී.
සිලෝනෙ 1969දී සාහිත්‍ය සඳහා කරන ලද මෙහෙය වෙනුවෙන් ‘ජෙරුසෙලම් සම්මානයෙන්’ පිදුම් ලද අතර, 1971දී ඉතාලියේ සාහිත්‍යය සඳහා පිදෙන ඉහළම සම්මානයක් වන ‘ප‍්‍රික්ස් මොන්ඩියල් සිනෝ ඩෙල් ඩුකා’  සම්මානයෙන් පිදුම් ලැබීය. ලොව පුරා ජනප‍්‍රියවූ ‘හොන්ටමාරා’ කෘතිය 1977දී ‘කාර්ලෝලිසානි’ විසින් සිනමාවට නගනලදී. පහත පළ වන්නේ සිලෝනෙ සමග යුරෝපා වාර්තාකරුවකු ඔහුගේ දේශපාලන හා සාහිත්‍ය දැක්ම පිළිබඳ කෙරුණු සංවාදයක පරිවර්තනයකි.

Q.ඔබ සාහිත්‍යකරුවෙක් වගේම දේශපාලනඥයෙක්. ඔබව දකින්න කැමැති කොහොමද?

A.මම අත්දැකීම් රැුසක් එකතුකරගත් කෙනෙක්. රටවල් තුනක සමාජ සාහිත්‍ය කරුණු හොඳින්ම අධ්‍යනය කරන්න ලැබුණ කෙනෙක්. ඒක  ඕනෑම පුද්ගලයකුට තිබිය යුතුයි. නමුත් ඒ තිබෙනවාට වඩා මට අවස්ථාව හිමිවුණා විශාල වපසරියක විශාල දේශපාලනික භාවිතාවක ජීවත්වෙන්න. ඒක නිසා මගේ සාහිත්‍ය පෝෂණය වුණා. මෙහෙම කිව්වොත්, කොමියුනිස්ට් පක්ෂයේ හිටියට ඒකට අයිති නැති, පල්ලියේ හිටියට පල්ලියට අයිති නැති කොමියුනිස්ට් වාදියෙක් සහ ක‍්‍රිස්තියානි ආගමිකයෙක් කිව්වොත් වඩාත් නිවැරැුදියි.

Q ඔබ කතාන්දර කීමේ කලාව දකින්නේ කොහොමද?

A.මෙහෙමයි මීට අවුරුදු ගණනාවකට පෙර ඔබ ඔය ප‍්‍රශ්නය මගෙන් ඇහුවනම්, මම දෙන පිළිතුරු බොහෝ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඊට හේතුව වෙන්නේ මම අද හොඳ කතාකාරයෙක් වීම නෙවෙයි, මගේ දෘෂ්ටියයි. කතාන්දරයක් කීමේ කලාව ඒ ඒ රචකයාට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට යම්කිසි කෙනෙකු හරිම පිළිවෙළට කතන්දරයක් කියනවා කියලා හිතමු. එතකොට ඒ පුද්ගලයා පැරණි ලේඛනවල ශෛලියට අනුගත කෙනෙක් බවට පත්වෙනවා. මම ලියන විදියට තව කෙනෙක්ට ලියන්න බැහැ. හැබැයි යම්කිසි කාලයක් තියෙනවා අපි ආස කරන සාහිත්‍යකරුවන්, නිර්මාණ ශිල්පීන් අනුකරණය කරන. ඒක මුල්කාලීනව යහපත් දෙයක්. මොකද ඉන්පස්සේ තමයි තමන්ටම කියලා කලාවක් උපදින්න පටන්ගන්නේ. කතන්දරයක් කීම කතුවරයාගේ ඔළුවෙ මැවෙන දෙයක්. ඒක මේ ආකාරයෙන් විය යුතුයැයි කියලා කාටවත් කියන්න බැහැ.

Q.අද වාමාංශික රචකයන් බිහිවෙනවා. නමුත් එම රචකයන් තුළ අස්ථිර බවක් දක්නට ලැබෙනවා. ඔබ කොහොමද දකින්නේ මේ වාමාංශික සාහිත්‍යය?

A.ඔබ ‘වාමාංශිකයි‘ කියලා හඳුන්වපු සාහිත්‍යයට අර්ථ බොහොමයක් පවතිනවා. ‘දකුණ’, ‘වම’, ‘මධ්‍යම’ ඔය කියන වචන අනාගතයට ඉතිරි කරනවානම් මම බොහොම කැමැතියි. ඒකට හේතුව වෙන්නේ  ඕනෑම කෙනකුගේ රචනා තුළ යම් දේශපාලන මතවාදයක් පැවතීමයි. හැබැයි කෙනකුට  ඕනෑම දේශපාලනයක් තම නිර්මාණය තුළට ගෙන එන්න පුළුවන්. එහෙම ගෙනා පමණින් එය දේශපාලනික වන්නේ නැහැ. හැබැයි වාමවාදී රචකයන් රැුසක් හඳුනගන්න පුළුවන්. මේ වෙනකොට ‘ෆැසිස්ට්’ වාදයට එරෙහිව තම නිර්මාණ බිහිකරන බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් තමන්ගේ අත්දැකීම් නිර්භයව ප‍්‍රකාශකරනවා. සැබෑ වාමවාදී රචකයන් බොහෝ රටවල ඉන්නවා. ඔවුන්ගේ ඒකායන අරමුණ ‘රුසියාවේ’ සමාජවාදී ක‍්‍රමය අතිශයෝක්තියෙන් නැඟීම නොවේ. ඔවුන් තම රටවල අතිදුප්පත් ජනතාවගේ සැබෑ ගැටලූ ලෝකයා හමුවට ගෙන එනවා. ගොවියන්ට, කම්කරුවන්ට එකලෙස සලකන රටක් තමන්ගේ රට තුළ නිර්මාණය වනු දැකීම ඔවුන්ගේ අරමුණයි. මම දැකපු බොහෝ වාමවාදී ලේඛකයන් තම අරමුණ තමන්ගේ ජීවිතය හා සහසම්බන්ධව ක‍්‍රියා කරන්නන්, ඔවුන්ගේ ජීවන රටාව තුළද එය දැකිය හැකියි. බොහෝම අල්පේච්ඡු ජීවිතගත කරන්නේ ඒ සැබෑ වාමවාදී ලේඛකයන් කොයිතරම් ප‍්‍රකාශනශීලීද කියනවානම්, ඔවුන් සමාජය වෙනස් වන අයුරු තම මිතුරාටත්, සතුරාටත් නිර්භයව ප‍්‍රකාශ කරනවා. ඇතැම් විට මිතුරාට එම අමිහිරි සත්‍ය ඇසීමේ අවශ්‍යතාවක් නැතිවෙන්න පුළුවන්. නමුත් ඔවුන් නිර්භයයි.

Q. ඔබ ‘සැබෑ වාම ලේඛකයන්’ කියලා පාවිච්චි කළා. ඒ කියන්නේ සැබෑ නොවන වාම ලේඛකයනුත් ඉන්නවා කියන එකයි?

A.ඇත්තටම ඔව්. මොකද ලේඛකයෝ කොට්ඨාසයක් ඉන්නවා ඔවුන්ට ඇත්තටම වුවමනාව මුදල් ඉපැයීම. මේ අරමුණෙන් ඔවුන් කරන්නේ නිර්මාණාත්මක සාහිත්‍යයක් ගොඩනැගීමට වඩා මුදල් ඉපැයීමයි. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. යම්කිසි පක්ෂයකට සම්බන්ධ (වාමාංශික* ලේඛකයෙක් ඉන්නවා. ඔහුට සැබෑවටම අවශ්‍ය යම් මුල්‍ය ප‍්‍රතිපාදනයක් ලබාගැනීමයි. එතැනදී ඒ ලේඛකයා කරන්නේ හොඳ හෝ නරක එම පක්ෂය විසින් සිදු කරනා සියලූම ක‍්‍රියාකාරකම් අනුමත කරමින් තම ලේඛනයේ නිරතවීමයි. මෙහිදී ඔහුට ලැබෙන මුල්‍යමය ප‍්‍රතිපාදනය ගැන පමණයි සැලකිලිමත් වෙන්නේ. ඔවුන් කිසිම විදියකින් විවාදාත්මක සන්දර්භයක් සහිත දෙයක් එළියට දාන්නේ නැහැ. ඊට හේතුව තම පැවැත්ම ආරක්ෂා කරගෙන සිටීම මුඛ්‍ය නිසා. මෙම වාමාංශික පක්ෂ විසින් මේ ලේඛකයන්ව ප‍්‍රසිද්ධියට පත් කරනවා. එසේ ප‍්‍රසිද්ධියට පත්වුණාම ඔවුන්ට හැෙඟනවා තමන් අනෙකුත් සියලූම ලේඛකයන්ට වඩා ඉහළ තලයක ඉන්නේ කියලා. ඒක ඇත්තටම අනුවණකමක්. ඔවුන්ට ජීවිත කාලයේදීම පක්ෂයේ හොඳ හෝ නරක වර්ණනාත්මකව ලියන්න සිදු වෙනවා. විශේෂයෙන්ම මහජනයා ඉදිරියේ තම පෞද්ගලික විවේචනයක් පවා ඉදිරිපත් කිරීමට ඔහුට නොහැකිවෙනවා.

Q. අපි කතා කළා වාමාංශික ලේඛකයන් ගැන. ඔබ විප්ලවවාදී අදහස් රචනාවලට යොදාගන්නා කෙනෙක්. විප්ලවවාදී රචකයකුගේ ස්වභාවය කෙබඳු විය යුතු දැයි ඔබ හිතනවාද?

A.1930 වර්ෂයේදී මම ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වෙලා හිටියා. මේ වනවිට මම කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ. මගේ මුල්කාලීන කෘති පැසිස්ට්වාදයට එරෙහිවයි රචනා කළේ. මම දකින්නේ විප්ලවවාදී රචකයෙක් කියන්නේ මිනිස්සුන්ගේ මොළයට ඍජුව ප‍්‍රහාර එල්ලකිරීමට සමත් කෙනෙක් ලෙසයි. එම ලේඛකයන්ට මහජනතාවගේ ඔළු වෙනස් කිරිමේ හැකියාව තිබෙනවා. මේ හේතුවෙන් ඔවුන් නිර්භය විය යුතුයි වගේම හුදකලා කිරීමේ අවධානමට මුහුණදීමට සූදානම් විය යුතුයි. ඒකට හේතුව වෙන්නේ  ඕනෑම විප්ලවවාදී ලේඛකයෙක්ව හුදකලා කරලා පහර දෙන්නයි දේශපාලන ව්‍යුහය සැදිලා තියෙන්නේ. මම දන්න ලේඛකයන් ඉන්නවා ඔවුන් දන්නවා බොහෝ තොරතුරු, කරුණු. නමුත්, ඒවා සාහිත්‍ය කෘතියක් හරහා හෝ වෙනයම් ප‍්‍රකාශනයක් හරහා එළියට දාන්න බයයි. ඊට හේතුව ඔවුන් දන්නවා අවසානයේදී මේ සමාජ හා දේශපාලන ක‍්‍රමවේදය ඔබව හුදකලා කරනවා කියලා. මේ නිසා මහත් ධෛර්යයක් තමන් තුළ තිබිය යුතුයි. විප්ලවවාදි රචකයෙක් වෙනවා නම්. මොකද ඔබ ඉන්න රටේ තියෙන්නේ පැසිස්ට්වාදයද, සමාජවාදයද ප‍්‍රජාතන්ත‍්‍රවාදයද කියන කාරණය එතරම් බලාත්මක වන්නේ නැහැ. ඔබෙන් පිටවිය යුත්තේ ඔබ දකින සමාජ අසාධාරණයන්. එවිටයි ඔබ නියම විප්ලවාදියෙක් බවට පත්වන්නේ.

No comments:

Post a Comment