Wednesday, August 28, 2013

අනුරග් කාශ්‍යප් (Anurag Kashyap) interview

මට අවශ්‍ය කතාන්දර සිනමාවට නගන්න

-අනුරග් කාශ්‍යප් (Anurag Kashyap) -


අනුරග් කාශ්‍යප් (Anurag Kashyap) පිළිබඳ මෙරට සිනමා ලෝලීන් අතර කතාබහ ඇති වන්නේ ‘දේව්-ඞී’ (Dev-D) සිනමාපටය හරහායි. එය මෙරට 2010දී පැවති ‘අයිෆා’ (IIFA) සම්මාන උළෙලේ හොඳම සිනමාපටය සඳහාද යෝජනා විය. ‘දේව්දාස්’ කතාවේ නව්‍ය ප‍්‍රතිනිර්මාණයක්  වශයෙන් ‘දේව් - ඞී’ හැඳින්විය හැකිය. අනුරග් කාශ්‍යප්ගේ අධ්‍යක්ෂණයේ පවතින ශක්‍යතාවන් මෙම සිනමාපටය හරහා මනාව පිළිබිඹු විය. ඉන් අනතුරුව ඔහු අධ්‍යක්ෂණය කළ ‘දැට් ගර්ල් ඉන් යෙලෝ බූට්ස්’  චිත‍්‍රපටයද විචාරකයන්ගේ පැසසුමට ලක් විය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘ගැන්ග්ස් ඔෆ් වයිසපූර් 1 සහ 2’  සාර්ථක ලෙස ආදායම් වාර්තා තබමින් පසුගිය කාලයේදී තිරගත විය. ඔහු මෑත ඉතිහාසයේ බොලිවුඩයෙන් බිහිවූ දක්ෂතම අධ්‍යක්ෂවරයෙක් වශයෙන් සැලකෙයි. ‘බ්ලැක් ෆ‍්‍රයිඬේ’ , ‘නෝ ස්මෝකින්’ , ‘ගුලාල්’, ‘දැට් ගර්ල් ඉන් යෙලෝ බූට්ස්’ ඔහු අධ්‍යක්ෂණය කළ සිනමාපට වෙයි. දිගු සිනමාපටවලට මෙන්ම කෙටි සිනමාපටවලටද එක සේ ඇලූම් කරනා ‘අනුරග්’ කෙටි සිනමාකරුවන් ඉදිරියට ගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක්ද සකස් කර ඇත.අනුරග්ගේ නවතම සිනමා නිර්මාණය වන ‘බොම්බේ වෙල්වට්’ මෙරටදී රූගත කිරීමේ අතරතුර ශ‍්‍රී ලංකා පදනමේ - ඩිජිටල් ෆිල්ම් ඇකඩමි’ හි සිනමා විද්‍යාර්ථයන් හමුවීමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ සංවාදයට එක් විය.


Q.ඔබ මේ වනවිට ඉන්දියාවේ සිටින වඩාත්ම කතාබහට ලක්වන සිනමාකරුවන්ගෙන් කෙනෙක්. අපි දන්නවා බොලිවුඞ් සිනමාව හරිම තරගකාරියි. එසේ තිබියදීත් ඔබගේ ප‍්‍රකාශන මාධ්‍ය වශයෙන් සිනමාව තෝරාගන්නේ ඇයි?

ඒකට හරිම සරල කාරණාවක් තියෙන්නෙ. මට අවශ්‍යයි ඇතැම් කතාන්දර සිනමාවට නගන්න. එය මා තුළ පවතින නොනවතින පිපාසයක්. මගේ හැම සිනමාපටයක්ම මා තුළ යම් උද්යෝගයක් ඇති වූ දෙයක්. එම කාලවකවානුව තුළ හරිම ආත්මාර්ථකාමී අදහසක් තියෙන්නේ ඒ සිනමාපටය නිෂ්පාදනය කිරීම පිළිබඳ. මොකද මම අධ්‍යක්ෂණය කරන සහ නිෂ්පාදනය කරන සිනමාපට සම්මත බොලිවුඞ් සිනමා ධාරාවෙන් වෙනස්. මොකද මම කැමැතියි මම වගේම තවත් අධ්‍යක්ෂවරු මෙම ක්ෂේත‍්‍රයට සම්බන්ධවනවාට. එවිටයි මෙම ක්ෂේත‍්‍රයේ විවිධත්වයක් පවතින්නේ. මම නවක අධ්‍යක්ෂවරුන් යොදාගෙන මේ වනවිට සිනමා නිර්මාණ කරනවා. ඔවුන් පවතින දේශපාලනික, සමාජයීය වාතාවරණයන්ට විවෘත වන්න  ඕනෙ. එවිටයි නියම නිර්මාණකරණය නිවැරැුදිව බිහිවන්නේ. ඒකයි මම පළමු වරට සිනමා නිර්මාණ කරන අධ්‍යක්ෂවරුන් ගැන විශාල බලාපොරොත්තුවක් තබාගෙන සිටින්නේ. මොකද දැවෙන ආශාවක් සහිතව නිර්මාණකරණයේ යෙදෙද්දී ඔවුන් උපරිමයෙන් ක‍්‍රියා කරනවා. එවිට නිෂ්පාදකවරයා වශයෙන් මට විශාල කාලයක් කැප කරන්න අවශ්‍ය වන්නේ නැහැ. පසුගිය කාලයේදී බොලිවුඞ් සිනමාව බොහෝ සෙයින් වෙනස් වී තිබෙනවා.

Q. අපි දකිනවා පසුගිය දශකයක වගේ කාලයක සිට ප‍්‍රධාන ධාරාවට (Main Stream) අමතරව ඔබ වැනි තවත් නිර්මාණකරුවන් බිහි වනවා. ඔවුන්ට පැවැත්මක් තිබෙනවද?

මීට කලකට පෙර මම නිර්මාණ කටයුතු සඳහා දායක වූ සමාගමක් ඔවුන්ගේ නිර්මාණවලින් මගේ නම ඉවත් කර තිබෙනවා. එය මට වාසි සහගත වුණා. ඒ කියන්නේ මට නැවත මගේම නමින් හොඳ නිර්මාණ කරන්න අවස්ථාව උදාවුණා. සෑම චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක්ම එවැනි අත්දැකීම් සඳහා පෙළ ගැසී සිටිය යුතුයි. පසුගිය වර්ෂ පහක පමණ කාලයේදී බොලිවුඞ් සිනමාවේ ඇති වූ විවිධාංගීකරණය හේතු කොටගෙන එය වඩාත් විශ්වීය මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ දකුණු ආසියානු තරුණ සිනමාකරුවන් අතරින් විමුක්ති ජයසුන්දරගේ නිර්මාණවලට මම කැමැතියි. මම විමුක්තිගේ හොඳ රසිකයෙක්. විමුක්ති සමග ඇති මිත‍්‍රත්වය ලංකාවට එන්න ප‍්‍රධාන වශයෙන් බලපෑවා. ඔහු පිළිබඳ මට ඉරිසියාවක් තිබෙනවා. ඒ ඔහු මට වඩා වයසින් බාලයි. තව නිර්මාණ කාර්යයන් රැුසක් ඉදිරියට කරන්න පුළුවන් කෙනෙක්. සමහර වෙලාවට ඉදිරියේදී අපිට එකට වැඩ කිරීමේ අවස්ථාව ලැබෙයි. ඔබ අහපු පැනයට කියන්න තියෙන්නෙ, ඔව් පැවැත්මක් තිබෙනවා.

Q. ඔබ බොලිවුඩයේ වෙනම ක‍්‍රියාවලියක් ආරම්භ කළා නවක සිනමාකරුවන් ඉදිරියට ගේන්න. එම කාර්යය කොයි තරම් අභියෝගාත්මකද?


අපි ස්ථිරතාවක් සහිතවයි  ඕනෑම දෙයක් ආරම්භ කළ යුත්තේ. ඔබ මෙය නව්‍ය දෙයක් වශයෙන් සැලකුවාට අපි මෙම ක‍්‍රියාවලිය ආරම්භ කළේ මීට වර්ෂ 13කට පෙරදීයි. මට මුල් කාලේ අවශ්‍ය වුණේ නවක කාර්මික ශිල්පීන්, නවක කැමරා අධ්‍යක්ෂවරුන් සමග කටයුතු කර නිර්මාණකරණයේ යෙදීම. මේ හරහා සිනමාව පිළිබඳ මා තුළ ඇති උනන්දුව තව තවත් වර්ධනය වුණා. අන්තර්ජාලය හරහා සිනමාව සම්බන්ධ විශාල කතිකාවක් ඇති වුණා. එක සමාන විශාල පිරිසකගේ අදහස් එකට එකතු වුණා. ඒ සමග සිනමා අධ්‍යක්ෂවරුන් රැුසක් සමග අදහස් හුවමාරු කරන්න හැකියාව ලැබුණා. අනෙක් කාරණය තමයි මගේ විදේශ ගමන් බලපත‍්‍රය ගත්තෙ 2004දී. ඉන්පසු විවිධ රටවල සංචාරය කළා. ඒ හරහා ඉන්දියාව තුළ අපට නැරඹීමට නොලැබෙන සිනමා නිර්මාණ රැසක් නරඹන්න අවකාශය හිමිවුණා. එම අත්දැකීම් අනුව කෙටි චිත‍්‍රපට මාධ්‍යයක් වශයෙන් භාවිත කළ හැකි යැයි පැහැදිලි වුණා. මේ නිසා කෙටි චිත‍්‍රපට සඳහා සහය දක්වන්න මට අභිලාෂයක් ආවා. අපි ඉන්දියාවේදී වරින් වර කෙටි සිනමාපට ප‍්‍රදර්ශනය කරන්න කටයුතු කළා. කෙටි සිනමාපට දෙකක් කිරීමට පටන් ගත්තේ අන්තර්ජාලය හරහා කතාබහ කිරීමෙන් අනතුරුවයි. මගේ බ්ලැක් ෆ‍්‍රයිඬේ ප‍්‍රථම සිනමාපටය සහ අනෙකුත් සිනමාපට සාර්ථක වූවාට පසු නිෂ්පාදකවරයෙක් වශයෙන් ක‍්‍රියා කරන්න ගත්තා. වාණිජ වශයෙන් සාර්ථක නිර්මාණයක් කරන අතරතුර කලාත්මක සිනමාපට කිරීම තමයි මෙහි සාර්ථකත්වය වන්නේ. මෙවර ‘ගැන්ග්ස් ඔෆ් වයිසපූර්’ කරන්නේ එම තත්ත්වය මතයි. එම සිනමාපටය රූගත කළාට පසු කෙටි සිනමාපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කරන්නයි කටයුතු සැලසුම් කර තිබෙන්නේ. අපිට නිෂ්පාදකයන්ගෙන් විශාල සහයක් ලැබෙන්නේ නැහැ. මේ නිසා ජාත්‍යන්තර වශයෙන් සිනමා නිර්මාණ ප‍්‍රදර්ශනය කරන්න කටයුතු කරනවා. මම සිනමා නිර්මාණ ප‍්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් වශයෙන් ‘ෆේස්බුක්’ සමාජ ජාලය භාවිත කරනවා. ගිය වර්ෂය වනවිට මෙම ක‍්‍රියාවලිය සමග 80ක් 90ක් අතර පිරිසක් අප සමග වැඩ කළා. හැබැයි ඔවුන් ක‍්‍රියා කළේ ස්වෙච්ඡුාවෙන්. ඒ ඔවුන්ගේ අනාගතය සඳහාමයි. හැබැයි මේ වර්ෂය වනවිට ඔවුන්ට ව්‍යාපෘති ලැබිලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවා. බොහෝ සිනමා පාසල්වල ශිෂ්‍යයන් අප සමග කටයුතු කරනවා. බොහෝදෙනෙක් පිටපත් සහිතව මා වෙන එනවා.

Q.ඔබ වෙත බොහෝ දෙනෙක් කෙටි චිත‍්‍රපට පිටපත් රැුගෙන එන බව පැවසුවා. කොහොමද එයින් හොඳ නිර්මාණ තෝරා ගන්නේ?

මට මතකයි වරක් තිරපිටපතක් සමග කෙනෙක් පැමිණියා. එම තිරපිටපතේ ගත හැකි යමක් පැවතියේ නැහැ. එහි තිබුණේ ගායිකාවක් දූෂණය වන සිදුවීමක්. මම එම තිරපිටපත ගෙන එහි සියලූම දෙබස් ඉවත් කළා. එය මට අත්දැකීමක් බවට පත් වුණා. මට එහි කතාන්දරය තුළ යමක් පවතින බව දැනුණා. මම කළේ දෙබස් පසුබිමෙන් පමණක් ඇසෙන ලෙස සකස් කිරීමයි. මට අවශ්‍ය වුණේ එම චරිතවල හැඟීම් තිරය මතට ගෙන ඒමටයි. මම අධ්‍යක්ෂණය කරන දිගු සිනමාපට ආදායම් වාර්තා තබනවා. නමුත් මම නිෂ්පාදනය කරන කෙටි චිත‍්‍රපට එවන් වාණිජමය සාර්ථක වන ඒවා නෙවෙයි. ඒවා භාව ප‍්‍රකාශනයි. මම වාණිජ සිනමාවේ සිටියොත් පමණයි කෙටි චිත‍්‍රපට සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව උදා වෙන්නේ. කෙටි චිත‍්‍රපට හරහා අත්හදා බැලීම් කිරීමේ විශාල අවස්ථාවක් හිමිවනවා. කෙටි චිත‍්‍රපටයකදී සරල කතාන්දරයක් ප‍්‍රබල, දැනෙන අවසානයක් සහිතව අවසන් විය යුතුයි.

Q.දේව්-ඞී, ගැන්ග්ස් ඔෆ් වයිසපූර් මඟින් ඔබ පේ්‍්‍රක්ෂක - විචාරක පැසසුමට ලක් වෙනවා. මේ හරහා ඔබ ඉන්දියාවේ මෙන්ම අනෙකුත් රටවලත් වඩාත් කතාබහට ලක්වන අධ්‍යක්ෂවරයෙක් බවට පත් වනවා. මේ සඳහා ඔබේ අත්දැකීම් කුමනාකාරයෙන් බලපෑවාද?

සිනමා කර්මාන්තයම අපහසු දෙයක්. මම නිරතුරුව ක‍්‍රියාකාරීව මෙම කර්මාන්තයේ සිටිනා අයෙක්. මේ නිසා නිරතුරුවම නිර්මාණ පිපාසාවකින් පෙළෙනවා. ඇතැම් කාලවලදී මගේ සිනමාපට තිරගත නොවන විටදී පවා දිගටම තිර රචනා ලිවීම සිදුකරනවා. මම දෙබස් ලියන්න හරිම කැමැතියි. ඇතැම් අවස්ථාවලදී කිසිදු හේතුවක් නොමැතිව දෙබස් ලියන්න කටයුතු කරනවා. ඒවා කුමන හෝ අවස්ථාවකදී ප‍්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. සෑම විටම යමක් කිරීමට උත්සහ කිරීම තමයි මගේ ඇති සුවිශේෂීත්වය. ඔබට සිදුවන සෑම දෙයක් මධ්‍යයේම රූගත කිරීමේ දක්ෂතාව තිබිය යුතුයි. ඒ වගේම ජනයා ගැවසෙන ස්ථානලවලදී රූගත කිරීමේදී ඔබ සිනමාපටයක් කරනවා යන්න අමතක කළ යුතුයි. පවතින තත්ත්වය රූගත කිරීම උත්සහ කළ යුතුයි. අපිට මුදල් අඩුවෙන් යන්නෙ එවැනි අවස්ථාවලදී. ‘ගැන්ග්ස් ඔෆ් වයිසපූර්’ රූගත කරන විට මට මතකයි අපිට එක දර්ශනයක් තිබුණා කන්දක් පුපුරවන. මම කළේ පුපුරන්න හදන නිධියක් සොයා ගත්තා. අනතුරුව අපි පැය 12ක් කැමරා මානාගෙන හිටියා එම පිපිරීම සිදු කරනකල්. එය නොමිලේ රූගත කළේ. ඔබට එවන් දෑ කිරීමට අත්දැකීම් රාශියක් තිබිය යුතුයි. එතැනදියි කෙටි චිත‍්‍රපට කිරීම වැදගත් වන්නේ.

Q. අපේ රටේ සම්මානනීය අධ්‍යක්ෂවරුන්ගේ සිනමාපට අවස්ථා ගණනාවකදී තහනමට ලක් වුණා. අපි දන්නවා ඔබේ සිනමාපට කිහිපයකටත් එම ඉරණමට මුහුණ දෙන්න සිදුවුණා. මේ සම්බන්ධව ඔබේ අදහස කුමක්ද?
මගේ සිනමාපට තහනම් කළ අවධියේ තහනම් කළ පිරිස් කලබලයට පත්වෙලා හිටියේ. නමුත් අද ඔවුන් කනගාටුවට පත් වෙනවා ඒ පිළිබඳ. එම කාලවකවානුවේදී මගේ තහනම් කළ සිනමාපටය තුළ එතෙක් බොලිවුඞ් සිනමාව කතා නොකළ දෑ කතා කරනවා. මත්ද්‍රව්‍ය, ලිංගිකත්වය වැනි මාතෘකා ඒ තුළ තිබුණා. මගේ පළමු සිනමා කෘති දෙකම තහනමට ලක් කෙරුණා. ‘බ්ලැක් ෆ‍්‍රයිඬේ’ සිනමාපටය ඉන්දීය උපරිමාධිකරණයෙන් තහනම් කළා. මොකද ඒ වනවිටත් එම සිනමාපටයට අදාළ කතාවේ බෝම්බ පිපිරීම පිළිබඳ නඩුවක් ඇසෙමින් තිබූ නිසා. නමුත් එහි ඇති රසවත්ම කතාව නම් එම සිනමාපටය හොරෙන් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. එහි පිටපතක් අග‍්‍රවිනිශ්චකාරතුමා නරඹලා තිබුණා. ඔහු පැවසුවේ එම සිනමාපටය සැවොම නැරඹිය යුතුයි කියලා. ඊට පසු සියල්ල වෙනස් වුණා. මට හිතෙන්නේ බොහෝ සිනමාපට තහනමකට ලක්වෙන්නෙ පුද්ගලයන් විශාල වශයෙන් කලබල වීම හරහායි.

No comments:

Post a Comment