Monday, August 19, 2013

Chandran Rutnam (චන්ද්‍රන් රත්නම්)

පිදුරු ගොඬේ ඉඳිකට්ටක් හොයනවා වගේ අපිට හොඳ නිර්මාණකරුවන් සොයාගන්න අවස්ථාව සැලසෙනවා

- චන්ද්‍රන් රත්නම් -

 චන්ද්‍රන් රත්නම් යනු දශක තුනක කාලයක සිට මෙරට සිනමා අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරන්නෙකි. දහසය වැනි වියේදී සිනමා කර්මාන්තයට පිවිසෙන රත්නම් හොලිවුඞ් නිෂ්පාදන රැසකට දායක වන්නේ නිෂ්පාදකයෙකු මෙන්ම නිෂ්පාදන කළමනාකරුවෙකුද වශයෙනි. 1984 වර්ෂයේදී ‘ආදර කතාව’ අධ්‍යක්ෂණය කරමින් සිනමාවේ භෞතීස්ම ලබන ඔහු අනතුරුව ‘ජනේලය’(1990),‘පොරොන්දුව’ (1993),‘අලිමංකඩ’(2009*, ‘අ කොමන් මෑන්’ ACommon Man ( 2012) අධ්‍යක්ෂණය කළේය. ඔස්කාර් සම්මානලාභී නළු බෙන් කිංග්ස්ලි රංගනයෙන් දායක වන ‘අ කොමන් මෑන්’ මේ වසරේ අපේ‍්‍රල් මාසයේ ලොව පුරා තිරගත වීම ඇරඹුණි. මෙම සිනමා පටය ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් ජාත්‍යන්තර සිනමා සම්මාන උලෙළේ හොදම චිත‍්‍රපටය,හො`දම අධ්‍යක්ෂණය සහ හො`දම නළුවාට හිමි සම්මානවලින් පිදුම් ලැබුවේය.මෙම සම්මාන උණුසුමත් සම`ග චන්ද්‍රන් රත්නම් ‘අකෝර්ඩින් ටු මැතිව්' (According To Maththew) නම් සිය නවතම සිනමාපටය  අතරතුර අප සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් විය. ශ‍්‍රී ලාංකේය බොලිවුඞ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් ප‍්‍රධාන චරිත නිරූපණය කරන මෙම සිනමාපටය මෙරටදී රූගත කරන දෙවැනි හොලිවුඞ් - ශ‍්‍රී ලංකා සිනමාපටයයි

Q. හොලිවුඞ් - ශ‍්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරයෙක්ගේ භූමිකාවක සිට ඔබ ලාංකේය සිනමාව දකින්නේ කුමන ආකාරයකින්ද?
මම මේ රටේ සිනමාව පිළිබඳ දරන්නේ වෙනමම මතයක්. මට හැෙඟන ආකාරයට මෙම කාලවකවානුව ස්වර්ණමය යුගයක ආරම්භයයි. එහෙම ප‍්‍රකාශ කරන්න ඉතා වැදගත් හේතුවක් තිබෙනවා. තරුණ සිනමාවේදීන්ට විශේෂ අවස්ථාවක් ලැබී තිබෙනවා තමන්ගේ නිර්මාණාත්මක කාර්යයන්, නිෂ්පාදකවරුන්ට නැත්නම් සිනමා නිර්මාණ සඳහා ආයෝජනය කරන්නන්ට පෙන්වීමට. ඔබට ඔබේ ජංගම දුරකථන මාර්ගයෙන් සිනමාපටයක් රූගත කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පහසුවෙන් සොයාගත හැකි කුමනාකාරයේ හෝ කැමරාවකින් ඔබට ඔබේ නිර්මාණය කරන්න පුළුවන්. මම යළි යළිත් මගේ ආරම්භය පිළිබඳ කියන්න කැමැති නැහැ. නමුත් මීට වඩා බොහෝ වෙනස් පසුබිමක සිටයි මම ගමන ආරම්භ කළේ. ඒ කාලේ අත්හදාබැලීම් කරන්න තිබුණු අවකාශ බොහොම අඩුයි. එසේම සෙලියුලොයිඞ්පට මිලෙනුත් අධික වුණා. ඒ නිසාම මම අත්දැකීමෙන් දන්නවා දක්ෂ නිර්මාණකරුවන් රැුසකට තම හැකියාව ප‍්‍රකට කිරීමට අවස්ථාව සැලසුණේ නැහැ. බොහෝ දෙනා මේ නිසා පරිහානියට පත් වුණා. සමහර අය ඉතා අපහසුවෙන් මුදල් සොයාගෙන සිනමා නිර්මාණ සිදුකළා. මම පොහොසත් පවුලකින් මෙම ක්ෂේත‍්‍රයට ආවත් වසර 15ක් ගියා සිනමා කෘතියක් සඳහා මුදල් උපයාගැනීමට මට ගෙදරින් මුදල් ලැබුණේ නැහැ. මොකද ඔවුන් සිතුවා සිනමාවට පිවිසීම නැත්නම් අධ්‍යක්ෂවරයෙක් වීම හොඳ වෘත්තියක් නොවෙයි කියලා. අපි කලාකරුවන්. අපි යමකට ආදරය කරනවද එය අපි කිරීමට පෙළඹෙනවා.

Q.ඔබ මෙම සමය සිනමාවට ස්වර්ණමය යුගයක් යැයි පැවැසුවාට අපි දකින්නේ නැහැ සිනමා ශාලාවල හොඳ සිනමා කෘතීන්. එසේම ඔබ පැවසුවා තාක්ෂණය සමග සිනමාව පෘථුල වෙයි කියලා. නමුත් වඳුරට දැලි පිහිය හම්බවුණා වගේ හැමෝම මෙම කලාත්මක කාර්යයට බැසීම අනතුරුදායක නැද්ද?

ඔව් ඒක ඇත්ත.  ඕනෑම අයෙකුට  ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඔව්, වඳුරෙක්ට වුණත් කැමරාවක් අරන් රූගත කිරීම් කරන්න පුළුවන්. නමුත් එය තිරයක් මත ප‍්‍රක්ෂේපනණය කළවිට පමණයි සිනමා මාධ්‍යයක් වශයෙන් සැලකිය හැක්කේ.

Q.ඔබ දශක පහක පමණ අත්දැකීම් සහිත සිනමාකරුවෙක්. අද ඇතැම් තරුණ සිනමාකරුවන් සිනමාව කියා කුමක් හෝ රූපරාමු ටිකක් සංකලනය කරනවා. එහි ඇති බැ?රුම්ම ගැටලූව නම් ඔවුන් එය ‘කලාව’ යන අර්ථයෙන් සැලකීමයි. මෙය භයානක තත්ත්වයක් නේද?
සියදෙනෙකුට විවිධාකාරයෙන් නිර්මාණ කරන්න පුළුවන්. නමුත් පිදුරු ගොඬේ ඉඳිකට්ටක් හොයනවා වගේ අපිට ඒ අතරින් හොඳ නිර්මාණකරුවන් සොයාගන්න අවස්ථාව සැලසෙනවා. නමුත් මීට දශක ගණනාවකට පෙර අපිට එවන් අවස්ථාවන් පවා තිබුණේ නැහැ. මම දන්නවා සිය ගණන් දෙනා කැමරා සමග සෙල්ලම් කරනවා. ඉන් ඇතැම් අය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විහිළුකාරයන්. ඇතැම් කෙනෙක් කොහෙත්ම දක්ෂ නොවෙන්න පුළුවන්. නමුත් එම කාරණාව පේ‍්‍රක්ෂකාගාරය තීරණය කරනවා නම් ගොඩක් හොඳයි. සෑම දිනකම මගේ කන්තෝරුවට දුරකතන ඇමතුම් පහ හයක් එනවා. බොහෝ තරුණ නිර්මාණකරුවන්ට උදව් අවශ්‍යයි කියලා. නමුත් ඊට පෙර ඔවුන් තමන් කළ දේ පෙන්වන්නට  ඕනෙ. බොහෝ දෙනෙක් මා වෙත පැමිණ ඔවුන් කළ කාර්යයන් පෙන්වනවා. මා ඒවායෙහි ගුණදොස් පවසනවා. හැබැයි ඒ අතර කිහිප දෙනෙක් සිටින්නට පුළුවන් සැබෑවටම උදව් අවශ්‍ය කරනා. ඉතින් කැමරාව අතින් ගත් වඳුරන් සියයක් අතරින් හොඳ වඳුරො දෙතුන්දෙනෙක් සොයාගන්න බැරිවෙන එකක් නැහැ.

Q.ඔබ ජාත්‍යන්තරයට සරිලන ආකාරයේ නිර්මාණ සිදුකළාට නිසි පිළිගැනීමක් ලැබී නැහැ?

ඒක ඇත්තටම අභිරහසක් ඇයි එහෙම වෙන්නෙ කියලා. මෙරට තුළ අධ්‍යක්ෂවරයෙක් වශයෙන්වත් මගේ නම කියැවෙන්නේ බොහොම කලාතුරකින්. ඒකට හේතුව මම දන්නෙ නැහැ. නමුත් එය මගේ කනගාටුවට හේතුවක් වෙලා නැහැ. ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් මා සතුයි. මම සිනමාපට කරන්නේ කුඩා පේ‍්‍රක්ෂක පිරිසකට නොවෙයි. ඉතා විශාල පේ‍්‍රක්ෂක සංඛ්‍යාවකටයි. මගේ නෝනට හෝ මගේ සමීපතමයන් කිහිපදෙනකුට නැරඹීමට පමණක් මම සිනමා නිර්මාණ කරන්නේ නැහැ. මුළු ලෝකයම මගේ සිනමා කෘති දැකලා අගය කරන්නයි මට වුවමනා. නමුත් මගේ නිර්මාණ පිළිබඳ අවබෝධයක් ඇති පිරිසක් ඉන්නවා. එය මට සතුටට කරුණක්. මං උත්සහ කරන්නේ දේශීය, විදේශීය පේ‍්‍රක්ෂකාගාරය ග‍්‍රහණය කරගැනීමට මිසක් සම්මාන උළෙලවල් නියෝජනය කිරීම නොවෙයි.

Q.නමුත් ඔබත් සම්මාන උළෙලවලදී සම්මානයට බඳුන් වූ කෙනෙක්?

ඔව්, ඔබ හරි. මාවත් ඇගැයීමට ලක්වෙලා තියෙනවා. නමුත් මම පෞද්ගලිකව දන්නවා සමහර  අධ්‍යක්ෂවරු සිනමා සම්මාන උළෙලවල් කේන්ද්‍ර කරගෙනම නිර්මාණ කරනවා. ඇතැම් අය සිනමා උළෙලවල් 100ක් පමණ නියෝජනය කරනවා. සම්මාන උළෙලවල් සියයක් නියෝජනය කළොත් ඔබට එක සම්මානයක් දිනාගැනීමට අපහසු නැහැ. මට තියෙන වුවමනාව වන්නේ බොහෝ දෙනෙකුට නැරඹිය හැකි සිනමාපට නිර්මාණය කිරීමයි.

Q.ඔබ ඬේවිඞ් ලීන් ආකාරයේ කතාන්දර කියනා සිනමාකරුවෙක්?

සියල්ලටම හේතුකාරක වන්නේ කතාවයි. ඔබගේ තිරපිටපත හොඳනම් එය තිරයේදීත් සාර්ථක වෙනවා. හැබැයි තිරපිටපත දුර්වල නම් එය තිරයට නගන්න බැහැ. ඇත්තටම ඬේවිඞ් ලීන්ගේ කෘති මම අගයනවා. මගේ ගුරුවරු ලෙස සලකන්නේ ඬේවිඞ් ලීන්, සර්ජියෝ ලියෝනි, ස්ටීවන් ස්පිල්බර්ග්, ජෝන් හියුස්ටන්, ක්ලින්ට් ඊස්ට්වුන් වගේ අතිදක්ෂ සිනමා අධ්‍යක්ෂවරුන්. අපි ඔවුන්ගේ ආභාසය ලබන කොට අපේ නිර්මාණ තුළත් එම ආභාසය දක්නට ලැබෙනවා. අපි ඔවුන්ගේ අදහස් සහ තාක්ෂණික භාවිතයන් ගෙන වෙනමම ආකාරයකට අපගේ නිර්මාණකරණයට යොදා ගන්නවා. මම අතිශයින් විශ්වාස කරනවා සිනමා කෘතියක වැදගත්ම දේ කතාව කියලා. ලෝකෙ නරකම කැමරාවලින් හොඳ චිත‍්‍රපට හදන්න පුළුවන්. නමුත් හොඳම කැමරාවලින් හොඳ චිත‍්‍රපටයක් කරන්න බැරිවෙන්න පුළුවන් කතාව නිසා.

Q.වරෙක ස්ටීවන් ස්පිල්බර්ග් පැවසුවා ‘මගේ සිනමා කෘතීන් අධ්‍යයනය කිරීමට පෙර මට පෙර සිටි අධ්‍යක්ෂවරුන්ගේ කෘති අධ්‍යයනය කරන්න’ කියලා. ඒ අනුව පැහැදිලි වන්නේ අධ්‍යක්ෂණය යනු අධ්‍යයනයේ නිරතුරුවම පවතින්නක් බවයි. මෙරට අධ්‍යක්ෂවරුන් දෙස බැලූ විට එවැනි අධ්‍යයනයකින් සිටින බවට ඔබට පෙනෙනවාද?

මට පෙනෙන දෙයක් තමයි ශ‍්‍රී ලාංකේය අධ්‍යක්ෂවරු බොහෝ දෙනා නැගෙනහිර යුරෝපියානු සිනමාව, විකල්ප ධාරාවේ යන සිනමාපට, ඉතාලියානු, ප‍්‍රංශ චිත‍්‍රපට බහුලව අධ්‍යයනය කරනවා. අපි සෑමවිටම දකින දෙයින් උත්තේජනයක් ලබනවා. ඒ අනුවයි නිර්මාණ කාර්යයේ යෙදෙන්නෙත්. මම කුඩාකල සිටම හොලිවුඞ් සිනමාපට බැලීමට පුරුදුව සිටියා. මම කලා ක්ෂේත‍්‍රයේ පුරෝගාමීයෙක් නොවෙයි. යුරෝපයෙන් එන සිනමාපටවල තියෙන දාර්ශනික බව මං වැළඳගන්නේ නැහැ. ඇතැම් අවස්ථාවලදී දිනකට සිනමාපට තුනක් නරඹනවා. අපි දන්නවා හොලිවුඩයේ පවා හොඳ සිනමාපට දශක දෙක තුනකට පස්සෙ නැවත නිර්මාණය කරනවා. නමුත් මම දැඩි සේ විරුද්ධයි වෙනත් අධ්‍යක්ෂවරයකුගේ දර්ශන සොරාගෙන එනම් එය ඒ ආකාරයෙන්ම රූගත කර ඒ සඳහා ගෞරවය ලබා නොදීමට.

Q. ඔබ හොලිවුඩයට සිනමා නිර්මාණ කරන්නෙක්. ඇයි මෙරට නළු නිළියන් භාවිත කරමින් හොලිවුඞ් නිර්මාණ කරන්න බැරි?

ඒකට මම මෙහෙම පිළිතුරක් දෙන්නම්. අපි ගත්තොත් බ‍්‍රැඞ් පිට් යම් සිනමාපටයක ඉන්නවා කියලා. ඔහුට ලොව පුරා රසික පිළිගැනීමයි, එම චරිතයටම මෙරට නළුවෙක් යොදා සිදුකළහොත් ඔහුට ඇති රසික
පිළිගැනීමයි පරස්පර විරෝධියි. යම් දිනෙක අපේ නළුවකුට එම තත්ත්වය ඇතිවෙයි. නමුත් තවම එවැනි තත්ත්වයක් නැහැ. අඩුම තරමේ අපිට ඩිජිටල් සිනමාවක් පවා නැහැ. මුළු ලෝකෙම ඒ දෙසට යොමු වෙද්දිත් අපි තවම පරණ ක‍්‍රමේට වැඩ කරන්නෙ. අපි ඩිජිටල් දන්නෙ නැති නිසා එම වචනෙට බියවෙලා ඉන්නවා. නමුත් එය තමයි අනාගතය. අපි අපේ කාලය නිරපරාදේ නාස්ති කරනවා විනා ක්ෂේත‍්‍රයේ දියුණුවට කටයුතු කරන්නේ නැහැ.

Q.ඔබ ‘අ කොමන් මෑන්’ අධ්‍යක්ෂණය කළා. අනතුරුව ‘සිද්ධාර්ථ’ සිනමාපටයේ ප‍්‍රධාන කාර්යයක් කළා. දැන් ‘අකෝර්ඩින් ටු මැතිව්’ රූගත කරනවා. කොහොමද දැනෙන්නෙ සිනමාත්මක ගලායාම?

එය කිසිවිටෙකත් ගැටලූවක් නොවෙයි. ඔබ ආස දෙය දිගුකාලීනව කරගෙන යනවිටයි තෘප්තියක් ඇතිවන්නේ. මම සෑමවිටම මගේ ඊළඟ සිනමා කෘතිය පිළිබඳයි සිතන්නේ.

Q. ඔබ වැඩකළ හොලිවුඞ් සහ බොලිවුඞ් නළු නිළියන් සහ අපේ නළු නිළියන් අතර වෙනස කුමක්ද?

අපි ‘ අ කොමන් මෑන්’හි මෙරට නළු නිළියන් හොලිවුඞ් නළු නිළියන් සමග යොදාගත්තා. එය සාර්ථකයි. හැබැයි එකක්, අපේ නළු නිළියන් විනය පිළිබඳ ඉගෙනගත යුතුයි. විනයක් නැති නළු නිළියන් හිටියොත් අධ්‍යක්ෂවරයකු පවා අසරණ වෙනවා. මම සිනමාපටයක් කරද්දී 100%ක් ඒ වෙනුවෙන් කැපවෙනවා. මගේ කැපවීම වගේම නළු නිළියන්ගේ කැපවීමත් ඒ සඳහා අවශ්‍යයි. මොකද මම නිර්මාණය කරන්නේ වෙනත් පුද්ගලයකුගේ මුදල් ලබාගෙන. මම ඔහුට (නිෂ්පාදකයාට) වගකිව යුතුයි. ඉතින් අපේ නළු නිළියන් පළමුව විනය කියන දේ ඉගෙන ගතයුතු වෙනවා.

No comments:

Post a Comment