Wednesday, August 28, 2013

ජගත් චමිල (Jagath Chamila) interview

නිසි රංග අභ්‍යාස ලබාදෙන තෝතැන්න වේදිකාවයි

 - ජගත් චමිල (Jagath Chamila) -

වසර විසිපහකට ආසන්න කාලයක් ලාංකේය රංග කරළියෙහි දක්ෂතා දැක්වූ ජගත් චමිල පසුගියදා ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීය. ඒ නිව්යෝර්ක් සිටි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගනිමිනි. ඔහු මෙම සම්මානය දිනාගත්තේ පි‍්‍රයංකර විතානාච්චිගේ ‘සැමීගේ කතාව’ සිනමාපටයේ ‘සැමී’ නම් මන්ද මානසික වර්ධනයක් සහිත තරුණයාගේ චරිත නිරූපණය වෙනුවෙනි. 1986 වසරේ වේදිකා නාට්‍යයෙන් රංගනයට පිවිසි ජගත් චමිලගේ රංග ආචාර්ය තිස්ස ජයවර්ධනයන්ගෙන් මූලික රංගනය හැදෑරීය. ඔහු ප‍්‍රථමවරට සිනමාවට එක්වන්නේ 1989 තිරගත වූ විජය ධර්මශ‍්‍රීගේ ‘ගුරුගෙදර’ සිනමා නිර්මාණයෙනි. ඔහු ‘මේ මගේ සඳයි’, ‘තනිතටුවෙන් පියාඹන්න’, ‘ගාමණී’ ඇතුළු සම්මානනීය සිනමා නිර්මාණ රැසකට තම රංගනයෙන් දායකවී ඇත. නිව්යෝර්ක් සිටි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල සඳහා ඇමෙරිකාව, ඩෙන්මාර්කය, කියුබාව, කැනඩාව නියෝජනය කරමින් සිනමා කෘති රැසක් ඉදිරිපත් කර තිබුණි. 

Q.රංගනයෙහි දිගුකාලයක් යෙදී සිටින ඔබ රංගනය යනුවෙන් හඳුනාගෙන තිබෙන්නේ කුමක්ද?

රඟපෑම පිළිබඳ ඉතා දිගු හෝ සංකීර්ණ අදහසක් මා තුළ නැහැ. මට ලැබෙන චරිතයකට එම චරිතය රචනා වී ඇති ආකාරය සහ අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳ දක්වන ආකල්පය අනුව උපරිම ආකාරයෙන් චරිතයකට සාධාරණය ඉෂ්ට කිරීම තමයි මම දකින්නේ රංගනය කියලා. එම චරිතය ඇතුළතදී මට කරන්න පුළුවන් සියලූම දේවල් සොයාගන්න උත්සහ කරනවා.

Q. අපි දන්නවා විවිධ නළුවන් විවිධ ක‍්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ චරිත නිරූපණය කරනවා. සමහරු ස්ටැනිස්ලව්ස්කිගේ මෙතඞ් ඇක්ටින් අනුගමනය කරනවා. ඔබ වේදිකාවෙන් පුංචි තිරයට, පුංචි තිරයෙන් රිදී තිරයට පිවිසුණු නළුවෙක්. ඔබත් මෙවැනි ක‍්‍රමවේදයක් අනුගමනය කරනවාද?

මම එහෙම එක රීතියකට විශේෂවෙලා රංගනයෙහි නිරත වන කෙනෙක් නෙවෙයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. යම් චරිතයක් නිරූපණය කිරීමේදී යම් යම් තැන්වලින් අවශ්‍යතා අනුව දේවල් උකහාගන්න පුළුවන්. මෙතඞ් ඇක්ටින් ඇතුළෙ තියෙන දේවල් බොහෝ අවස්ථාවලදී ගන්න පුළුවන්. නමුත් මෙතඞ් ඇක්ටින් සම්පූර්ණයෙන්ම අනුගමනය කරන්න බැහැ.යම් චරිතයක් නිරූපණය වෙලා තියෙන්නෙ කොහොමද ඒ පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කරන්න  ඕනෙ. මම මූලික රංගනය හැදෑරුවෙ මොරටුව වේල්ස් කුමර විදුහලේ තිස්ස ගුණවර්ධනයන් යටතෙයි. රංග කලාව දිගුකාලීනව කිරීමේ අරමුණෙන් එය විෂයක් වශයෙන් හැදෑරීමට කටයුතු කළා. මට මූලිකවම රංග පාසලක් බවට පත්වුණේ වේදිකාව.

Q.ඔබට වේදිකාව රංග පාසලක් බවට පත්වෙන්නෙ මෙරට රංගනය හැදෑරීමට රංග පාඨශාලාවක් නොමැති නිසා නේද?

ඒක ගැන මට තියෙන්නෙ වෙනම විදිහෙ අදහසක්. අපි හිතමු මේ ක්ෂේත‍්‍රයේ සියල්ල සම්පූර්ණයි කියලා. එහෙම සියල්ල සම්පූර්ණ වූ කල්හි සාර්ථක නිර්මාණ කරන්න පුළුවන්ද? එහෙම අපිට එක එල්ලේම කියන්න බැහැ. මෙහෙම දෙයක් තියෙනවා.රංගනය පිළිබඳ උනන්දු වන  ඕනෑම අයකුට හදාරන්න පුළුවන් නාට්‍ය වැඩමුළු රාශියක් අපේ රටේ තියෙනවා. මම රංග පාඨශාලාවක්  ඕනෙ නැහැ කියන්නෙ නැහැ. නමුත් රංගනය පිළිබඳ උනන්දුවක් දක්වන අයකුට සාර්ථකව තම අරමුණ කරා යෑමේ අවස්ථාව තිබෙනවා.


Q.අද රංගනය නිරූපණයකට සීමා වෙද්දී ඔබ රංගනය පිළිබඳ කොයිතරම් හැදෑරීමකද සිටින්නේ?

සිනමාවෙ ටෙලි නාට්‍ය කලාවේ කොයි තරම් රංගනයෙන් දායක වුණත් මම දකින්නෙ නිසි රංග අභ්‍යාස ලබාදෙන තෝතැන්න ලෙස වේදිකාවයි. මොකද අපිට වඩා ජ්‍යෙෂ්ඨ රංගවේදීන් රැුසක් බිහි වුණේ වේදිකාව හරහායි. මෙහිදී ලැබෙන ආභාසය ඉතාම වැදගත්.

Q. නමුත් අපි දකිනවා රංගන කාර්යයේදී වේදිකා නළු නිළියන් සිනමාවට හෝ පුංචි තිරයට පැමිණි විට අධිතාත්වික රංගනයක නිරතවන ආකාරයක්?

ඔය කාරණය සම්බන්ධ නළු නිළියන් බෙහෙවින් සංයමයකින් කි‍්‍රයා කරන්න  ඕනෙ. තමන්ට ගැළපෙන චරිත තෝරා බේරා ගත යුතුයි. සංයමය ඇතිකර ගැනීම පුද්ගල ශක්‍යතාවය මත සිදුවන්නක්.ඔවුන් මනාව තේරුම් ගන්න  ඕනෙ අධිරංගනයක් තමන්ගෙන් වෙනවද? එහෙම නැත්නම් එය ඇතුළතින්ම එන දෙයක්ද කියලා.

Q. ලංකාවෙ යම්කිසි නළුවෙක්, නිළියක් යම් චරිතයක් සාර්ථකව නිරූපණය කළාම ඔහුට, ඇයට එවැනි චරිත නිරතුරුවම ලැබෙනවා. ඔබට එසේ සිදුවී නැත්ද?

මං සම්බන්ධයෙන් එහෙම අවස්ථා උදාවෙලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මෙගා නාට්‍යවලට සම්බන්ධවීම හරහා එකම චරිතය අවුරුද්දක් දෙකක් නිරූපණය කරන්න සිදු වුණ අවස්ථා තිබෙනවා. නමුත් මට එකම චරිතයට කොටු වෙන්න සිදුවුණේ නැහැ.උදාහරණයක් විදිහට ‘ජීවිතේ ලස්සනයි’ මෙගා නාට්‍යයේ රූගත කිරීම් කරන කාලයේ ‘උප්පලවන්නා’, ‘හතර දෙනාම සූරයෝ’ යන සිනමාපටවල රඟපෑමට අවස්ථාව හිමිවුණා. ‘රුවන් මාලිගා’ නාට්‍ය රූගත කරද්දී ‘සැමීගේ කතාවෙ චරිත නිරූපණය කළා. ඒ කාලෙමයි ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා කටයුතු කළේ.

Q. ‘සැමීගේ කතාවෙ’ සැමී චරිතය අභියෝගාත්මක එකක්?

කැප්ටන් එල්මෝ ජයවර්ධනයන්ගේ සම්මානයට පාත‍්‍රවුණු ‘සෑම්ස් ස්ටෝරි’ (Sam's story) ආශ‍්‍රය කරගෙනයි මෙම සිනමාපටය නිර්මාණය කරන්නෙ. සිනමාපටය රූගත කිරීමට මාස එකහමාරකට පමණ පෙර ඉඳලා මෙම චරිතයට පෙර පුහුණුවීම් සිදු කළා. මෙහි නිර්මාණාත්මක කාර්යට දායක වුණු පිරිස් සමග එකතුවෙලා සැමීගේ චර්යා රටාව පිළිබඳ මූලික අධ්‍යයනයක් ලබා ගත්තා. ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යයේ ‘විභූතිරත්න’ කියන චරිතයත් මෙවැනිම චරිතයක්.සැමී කියන්නෙ අප සමාජය තුළ දකින්නට තියෙන සැබෑ චරිතයක්. හැබැයි සිනමාවේදී සත්‍ය චරිතයට වඩා මම නිරූපණය කරන චරිතය හාත්පසින්ම වෙනස් කිරීමේ අවශ්‍යතාව මතුවුණා. ‘සැමී’ අඩු මානසික වර්ධනයකින් යුක්ත පුද්ගයෙක්. හැබැයි මෙම පුද්ගලයාගේ චරිතය සිනමාවට නැගීමේදී ඇතිවන තත්ත්වය වන්නේ පේ‍්‍රක්ෂකයාගේ ගෞරවාදරය දිනාගැනීමට සැලැස්වීමයි. එය භාරධූර කාර්යයක්.සැබෑ සැමීට එහෙම දිනාගන්න පේ‍්‍රක්ෂකාගාරයක් නැහැ. හැබැයි මගේ චරිතයට පේ‍්‍රක්ෂකාගාරය රඳවා තබාගැනීමට අවශ්‍ය වෙනවා. අන්න ඒ අරමුණ වෙනුවෙන් යම් කිසි රටාවකට කතාන්දරය තුළ මගේ චරිතය නිරූපණය කරන්න කටයුතු කළා.

Q. අප රටේ නළුවෙක් කියලා ශ්‍රේණිගත වන්නෙ උස මහත කටහඬ ගොරෝසු, රළු පෙනුමක් තියෙන පුද්ගල චරිතවලට. ඒ වගේම වර්තමානය වනවිට නිරූපණ ශිල්පීන් නළුවන් බවට පත්වෙලා තිබෙනවා. මේ සියල්ල මැද නළුවෙක් වශයෙන් ඔබට ලැබෙන ප‍්‍රතිචාරය කෙබඳුද?

මෙහෙමයි මට මේ සම්මානය ලබාගත් පසු විශාල පිරිසක් සුබ පැතුවා. ඔබ ඔය කියන ගොඩට මං වැටිලා නැහැ. මෙහෙමයි ඔය කියන්නෙ ජනප‍්‍රිය මාදිලියේ නළුවන් පිළිබඳ. හැබැයි පේ‍්‍රක්ෂකයන්ගේ ආදරය මට සැම විටම තියෙනවා.

Q. මෙම චරිතයේ වේශ නිරූපණය සම්බන්ධයෙන් කතා කළ යුතුයි. මොකද එය මෑතකදී අප සිනමාවේ දුටු ඉතා දක්ෂ වේශ නිරූපණ කාර්යක්?

හේමන්ත ගමගේ තමයි වේශ නිරූපණ ශිල්පියා වශයෙන් කි‍්‍රයා කළේ. චරිතයේ හැඩතල මතුවන ආකාරයට වේශ නිරූපණ උපක‍්‍රම මාර්ගයෙන් ඒවා වඩා ඉහළින් ඉස්මතු වන ලෙස ඔහු කි‍්‍රයා කළා. මොකද චරිතයෙහි ස්වභාවය මතුකරන්න සෑහෙන්න සංයමයකින් වේශ නිරූපණ කටයුත්ත සිදු කරන්න හේමන්ත ගමගේට සිදු වුණා. කතා නායකයාගේ රූපයත් පේ‍්‍රක්ෂකයාගේ හදවතේ තැන්පත් වූ විටයි නිර්මාණය සාර්ථක වෙන්නෙ.

Q. නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා වන ඔබ ඇයි එ් සභාව මවු භාෂාවෙන් ඇමතුවේ?

මෙහෙමයි, මේ රටෙන් පිටතට ගියාට පස්සෙ ඉංග‍්‍රීසි භාෂාව මූලික කාරණාවක් වන්නෙ නැහැ. බොහෝ අයට අදහස් හුවමාරු කරගැනීමට ඉංග‍්‍රීසි භාෂාව වැදගත් වෙනවා. නමුත් මේ වගේ උළෙලකදී තමන්ගෙ මවු භාෂාවෙන් කතා කළා කියලා කිසිදු ගැටලූවක් ඇති වන්නේ නැහැ. මම පෙනී හිටියෙ මගේ රට වෙනුවෙන්. මම මගේ රටේ භාෂාවෙනුයි කතා කළේ. සම්මානය ලබාගත් අවස්ථාවෙ අධ්‍යක්ෂවරයා සහ සහය නිෂ්පාදකවරයා වේදිකාවට ගෙන්නුවෙ මෙය මගේ තනි ජයග‍්‍රහණයක් නොවන නිසයි. මේ සිනමා නිර්මාණයෙ සැමීගේ මවගේ චරිතය නිරූපණය කරනා නිල්මිණි බුවනෙක රංගන ශිල්පිනියත් උත්කෘෂ්ට චරිත නිරූපණයක් සිදුකරනවා. අන්න ඒ වගේ සාමූහික එකතුවක් මත තමයි මෙම සිනමා කෘතිය නිර්මාණය වුණේ. මේ සියල්ල ඒ සාමූහිකත්වයේ ප‍්‍රතිඵලයක්.

No comments:

Post a Comment