Saturday, August 24, 2013

Vimukthi Jayasundara-විමුක්ති ජයසුන්දර - Interview

 මේ රටේ ඉන් මිනිස්සුන්ට ප‍්‍රමුඛතාව දෙන්න  ඕන

- විමුක්ති ජයසුන්දර (Vimukthi Jayasundara) -

පසුගියදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති ‘විමුක්ති ජයසුන්දර’ සිනමා උළෙල සමග නැවතත් විමුක්ති  ළිබඳ යම් කතිකාවක් ඇති විය. ඔහුගේ ‘සුළඟ එනු පිණිස’ සිනමාපටයට 2005 වර්ෂයේ ප‍්‍රංශයේ කාන් සම්මාන උළෙලේ හොඳම නවක අධ්‍යක්ෂවරයාට හිමිවන කැමරා ඞී’ ඕර් (Camera D'or) සම්මානය හිමි විය. ‘සුළඟ එනු පිණිස’ පසුගිය දශකයේ ආසියාවෙන් බිහි වූ හොඳම සිනමාපට 10න් එකක් ලෙසද නම් කෙරුණි. අනතුරුව ඔහු 2009 වර්ෂයේ ‘අහසින් වැටුණා’ සිනමාපටයද 2011 වර්ෂයේදී ‘ඡුත‍්‍රක්’ නම් බෙංගාලි සිනමාපටයද නිර්මාණය කළේය.


Q. ඔබ ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වූ අධ්‍යක්ෂවරයෙක්. නමුත් කාලයකදී ඔබේ නමට කැළලක් එනවා රටට අහිතකර නිර්මාණ කළ ජාතිවාදී පුද්ගලයෙක් වශයෙන්?

දැන් මට ඔය සම්බන්ධව පවසන්න වෙනත් මානයක් තියෙනවා. අපි ඉන්නෙ දූපතක. අපේ සියලූම අදහස් හා
සංකල්පවල තියෙනවා රට ගැන ආදරයකටත් වඩා රට රැකීම, ආරක්ෂා කිරීම වැනි අදහස්. එක්තරා විදිහකට ඒකට දේශපේ‍්‍රමීත්වය කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ මොකක්ද කියන එක පැහැදිලි නැහැ. සිංහල ජාතිය ආරම්භය විදිහට අපි ගත්තොත් එහෙම විජයාවතරණය තමයි ගන්නෙ. විජය ඉන්දියාවෙන් පැමිණියා කියලා අපි දන්නවා. ඒක ඉතිහාස කාරණාවක්. ඔහු ඇවිත් කුවේණි සමග සම්බන්ධ වෙනවා. ඉන්දියාවෙන් එවන්නේ මැරවරයෝ පිරිසක් කියලනෙ කියන්නේ. එතකොට නරක වැඩ කරපු කණ්ඩායමක් තමයි එවන්නේ. මම කියන්නෙ මේවා වැරැුදි නෙවෙයි. මේ ඉතිහාසය. මොවුන් ඉන්දියාවේ හිටපු විප්ලවවාදීන් වෙන්නත් පුළුවන්. එහේ හිටපු රජ්ජුරුවන්ට කැරැුලි ගහපු, සමහර විට බුද්ධිමතුන් වෙන්නත් පුළුවන්.
කරදරෙන් බේරෙන්න මේ රටට ආවා වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ නිසා ඔවුන්ට හොඳ බුද්ධියක් තියෙන්න ඇති ජාතියක් ඇති කරන්න. ඒ කියන්නෙ ගවේෂණයේ යෙදුණු කණ්ඩායමක්. ඒ ඉතිහාසය ඔස්සේ අපි ගොඩනගා ගත්ත දේවල් තියෙනවා.නමුත් යටත් විජිත යුගයෙන් පසු අපේ සංස්කෘතිය වෙනස් වුණා. අපිට දූපතක් පේන්නෙ නිධානයක් තියෙන තැනක් වශයෙන්. එළියෙ ඉන්න අය හිතන් ඉන්න මේක ඇතුළේ නිධානයක් තියෙනවා කියලා. ඔවුන් කියනවා අපි ඉන්නෙ තැන නිධානයක් තියෙනවා කියලා. අපි ඒක
හොයනවා. නමුත් හම්බ වෙන්නෙත් නැහැ, නැත්තෙත් නැහැ. නිධාන ආරක්ෂා කරන්න බහිරවයෝ ඉන්නෙ. මේ බහිරවයන්ට වටිනාකමක් නැහැනේ. නිධානෙට තියෙන්නෙ වටිනාකම. ඒක තමයි ප‍්‍රශ්නය. අපි බහිරවවාදයට ගොදුරු වෙලා තියෙන්නෙ.

Q. ඔබ අර්ථ දක්වන්නෙ සිනමාව ආරක්ෂා කිරීමටසිටිනා අයත් බහිරවවාදීන් බවද?

ඇත්තටම ඔවුන් අලූත් නිර්මාණ බිහිවෙනවාට බයයි. අලූත් පිරිසක් එනවට බයයි. බහිරවයා කියන්නෙ තමන්
ළඟ තියෙන දේ ආරක්ෂා කර ගන්නා කෙනෙක්. බහිරවයා කැමැති නැහැ තමන් ළඟ තියෙන දේ එළියට අරගෙන අලූත් දෙයක් දානවට. අපි බහිරවත්වයෙන් මිදිලා මුලින් ලංකාවට ආපු ගවේෂකයෝ වගේ මේ දිහා බලන්න කාලය ඇවිත් තියෙන්නෙ. අපේ රටේ මිනිස්සු කියන සම්පත අංක එකට ගන්න  ඕනෙ. බහිරවයෝ නෙමෙයි මේ රටේ ඉන්නෙ මිනිස්සු. මිනිස්සුන්ට ප‍්‍රමුඛතාව දෙන්න  ඕන. මිනිස් සම්පත අනෙක් සම්පත්වලට වඩා වටිනවා. පරිසර සම්පතට වැඩිය මිනිස්සු වටිනවා. මිනිස්සු රකින කොට මිනිස්සුන්ගෙන් බුද්ධිමත් මිනිහට ගෞරවය ලැබෙනවා. ඒ හරහා අපේ අධ්‍යාපනයට ගෞරවය ලැබෙනවා. සමාජ ජීවිතයට ගෞරවය
ලැබෙනවා. අපේ නිදහසට අපේ ගෞරවය ලැබෙනවා. මේ සියලූ දේ ලැබෙන්නෙ බහිරවත්වයෙන් මිදිලා මනුෂ්‍යත්වයට තැනක් දීම හරහායි. ඒ හරහා මිනිස් සමාජය නැවත නිර්මාණය කරන්න පුළුවන්. ඒ ඔක්කොම දැන් අමතක වෙලා තියෙන්නෙ. අපේ රටේ ආදායමෙන් වැඩි කොටසක් ලැබෙන්නෙ ශ‍්‍රමය ‘වහල් භාවයට’ වෙනත් රටවලට විකිණීමෙන්. ඒක කොයි තරම් ගැටලූ සහගතද? අපේ රටේ තියෙන භෞතික සම්පත්, පාරිසරික සම්පත්වලට වඩා වඩාත් ලාභදායී වෙලා තියෙනවා වහල් කර්මාන්තය. මිනිස්සුන්ට ආධ්‍යාත්මික වටිනාකමක් නැහැ. අපි ඒක වෙනස් කරන්න  ඕනෙ. සමාජයේ විශාල බුද්ධිමය වෙනසක් ඇතිවෙන්න  ඕනෙ
බහිරවත්වයෙන් මිදීම සඳහා.

Q. ප‍්‍රකෘති මිනිසාගේ යටි සිතේ ආශාවක් වනය (වනාන්තරය) සමග නිරතුරුව බැඳිලා තියෙනවා. ඔබේ
‘සුළඟ එනු පිණිස’, ‘අහසින් වැටුණා’, ‘ඡුත‍්‍රක්’ වගේම කෙටි චිත‍්‍රපටය වන ‘ලයිට් ඉන් ද යෙලෝ බී‍්‍රතින් ස්පේස්’ දීත් වනය ප‍්‍රධාන චරිතයක් බවට පත්වෙනවා. මේ සඳහා විශේෂ අර්ථ දැක්වීමක් පවතිනවාද?

ඒකෙ මූලික හේතුව තමයි මම නගරයේ ජීවත් වුණත් මගේ තියෙනවා එක දෙයක්, ඒ තමයි මම ලෝකයට
අයිති කෙනෙක්. මම ලෝකයෙන් කෑල්ලක් කියලා හිතන්න කැමැතියි. ඒක හිතුවහම තමයි මට නිදහස දැනෙන්නෙ. මේ ඉර, හඳ, මහපොළොව මුළු විශ්වයම මගේ කෑල්ලක් කියලා හිතනකොට මට නිදහස දැනෙනවා. මං හිතන්නෙ ඔය සුවය තමයි ආගම තුළ තියෙන්නෙත්. මාව අයිති පළමුවැනි තැන තමයි කැලය. මාත් එක්ක හටගත් සියලූම දේ තාම එහි තියෙනවා. මගෙත් එක්ක හිටපු සතා සීපාව එතැන තියෙනවා. ගහකොළ එතැන තියෙනවා. අපි නගරයට ඇවිත් අපිට  ඕන විදිහට ගස් හිටවගෙන වෙනම කැලයක
ජීවත් වෙනවා. ඒ කැලේ සියලූම සත්වයන් අපේ වහල්ලූ බවට පත්කරගෙන ඉන්නේ. බල්ලා, හරකා වගේ සත්තු ඒකට උදාහරණ. මගේ අස්සෙ මේ සම්බන්ධ ලෝකෙටම පොදු අදහසක් තියෙනවා. මම ඒකෙන් අදහස් කරන්නෙ නෑ සියලූ දේ අතහැරලා කැලයට යන්න  ඕනෙ කියලා. මට හැබැයි ඒ සම්බන්ධව උන්මාදයක් තියෙන්නෙ. නමුත් ඒ උන්මාද තත්ත්වය කලාව තුළ ගේන්න පුළුවන්. ඒ හරහා මට කියන්න
පුළුවන් අපි ආවේ මෙතැනින් කියන එක. යම්කිසි විදිහක ගැටලූවකදිත් අපිට පිළිතුරු හම්බවෙන්නෙත් කැලයෙන්. කෙනෙක් අරගල කරන්න හිතුවොත් කැලය මතක් වෙන්න පුළුවන්. ලෝකයේ  ඕනෑම විප්ලවවාදී සංවිධානයක භාවිතාව කැලය. කෙනෙක් මේ සියල්ලෙන් සැඟවෙලා ඉන්න නම් යන්නෙ කැලයට. සියලූම තත්ත්වය අවබෝධ කරගෙන සියල්ලෙන් මිදෙන්න යන්නෙත් කැලයට. භාවනා කරන්න
යන්නෙත් කැලයට. ඒ වගේම සහනයක් හොයන්න කියලා සංචාරකයෙක් වශයෙන් යන්නෙත් කැලයට. මෙන්න මේ විදිහට අපි තුළ තියෙනවා කැලයට ආසාවක්. ඒ වගේම කැලය කියන්නෙ අතිභයානක දෙයක්. අපි හිතනවා මේ නිසා  ඕනෑම මොහොතක අපිව කැලය භාර ගනියි කියලා. නමුත් එහෙම වෙන්නෙත් නැහැ.


Q. ඔබ ඔය කියන කැලයේ ස්වභාවය නිසාද ඔබේ කෙටි චිත‍්‍රපටයේ චරිතයක් ලෙස ‘ඩයිනෝසර්’ කෙනෙක්
ගෙනෙන්නේ? ඔබ අභූතරූපී ලෙස ‘ඩයිනෝසර්’ චරිතය ගේන අතර එයට දේශපාලනික මුහුණුවරක්ද ලබා දෙනවා?

ලෝකේ අවසානයට ඉන්න ඩයිනෝසර් තමයි ඒ හම්බවෙන්නෙ. ඩයිනෝසර් කියන ගීතය තමයි කියන්නෙ.
ඒකෙ ඩයිනෝසර් කියන්නෙ ‘මිනිස්සු ටික ටික ලෝකේ කාලා දැන් මිනිස්සු ලොකුවෙලා’ කියලා. සමහර දේශපාලන න්‍යායන් සමග අපි හිතාගෙන ඉන්නවා ඒවා සදාකාලිකව තියෙයි කියලා. නමුත් ඒවා කෙටිකාලීන බව ටික දවසක් යනකොට තේරෙනවා. මේ සියලූ දේ ඇතිවෙමින් නැතිවෙන දේවල්. ඉතා මෑත යුගය වෙනකං අපි කතා කළේ චරිත ප‍්‍රධාන සිනමාවක් තුළ මනුස්සයා පිළිබඳ. අද වනවිට මනුස්සයාගෙන් එහාට ගිහිල්ලා මනුෂ්‍යයා මේ විශ්වයේ කෑල්ලක් වශයෙන් ගණන් ගන්නෙ. මනුස්සයා විසින් මේ කරලා තියෙන වෙනස විශ්වීයව පේන්න අරන්.

Q. ඒ කියන්නේ මේ වනවිට සිනමාවේ දිශානතීන් වෙනස් වෙලාද?

ඉස්සර අපිට පෙනුණ දෙයක් තමයි, අතීත සාහිත්‍ය කෘති හෝ සිනමා කෘති දෙස බැලීමේදී අපිට මනුස්ස ජීවිත
ගැන කතා එළියට ඇවිත් තිබෙනවා. ඒකෙන් මනුස්සයකුට ජීවිතය වෙනස් කරන්න පුළුවන්කම තියෙන ඒවා පෙන්වනවා. හැබැයි අපිට වෙලා තියෙන්නෙ ලෝකේ කොයි තරම් හොඳ නායකයෙක් ඉන්නවා කිව්වත් අපිට ඔහු හෝ ඇය හමුවෙලා නැහැ. අපි හිට්ලර්ව එපා කිව්වත් විවිධ විවිධ වකවානුවල හිට්ලර් නැවත නැවත හමුවෙනවා. අපි කොයි තරම් හිංසනය එපා කිව්වත් හිංසනය නැවැත නැවත හමුවෙනවා. හැබැයි
අපිට කරුණාව, දයාව, ඒවත් හම්බවෙනවා. විද්‍යාවෙන් හොයාගෙන යනවා කොහොමද විශ්වයේ පැවැත්ම
කියලා. අතිභයානක විදිහට මිනිස්සු හිතන්න පුරුදු වෙලා. විශ්වයේ ස්වභාවය හඳුනාගත්තම අපි විශ්වය වෙනස් නොකර ඉඳියිද? අද අපි ඒ වගේ ගැටලූවකටත් මුහුණ දීලා තියෙනවා. විද්‍යාත්මක සොයා ගැනීම්
සමග බරපතළ ව්‍යසන තත්ත්වයන්ද තියෙන බව පැහැදිලියි. ඒ නිසා අපි කලාව ඒ තත්ත්වයන්ට ගෙනියන්න  ඕනෙ. මිනිස්සු හැම වෙලාවෙම පරමාත්මයක් ගැන හොයනවා. මේක නොසන්සිඳෙනා තත්ත්වයක්.

Q. ඔබ පරමත්වයක් පිළිබඳ කතා කළා. නමුත් ඇතැම් නිර්මාණකරුවන් ආගම පිළිබඳ නොසලකා නිර්මාණකරණයේ යෙදෙනවා?

අපිට ආගමික න්‍යායන්වලදී නිහඬවෙලා ඉන්න වෙලා තියෙනවා. මනුස්සයගේ තියෙන උත්තරීතරත්වය, හැකියාව අපි නිර්මාණ හරහා කතා කළාට ආගම් ඊට වඩා විශාල වශයෙන් වෙනස්. උදාහරණයක් විදිහට එක දේව නියමයකින් ව්‍යසනයක් නවත්වන්න පුළුවන්. ඒ වගේ තැනකට අපිට උත්තරයක් නැහැ. නමුත් ඒ වගේ දෙයක් ගැන කතා කළොත් යම් දළ අදහසක් ලබාගන්න පුළුවන්. අපිට ආගම් අතරට ගිහිං කතා කරන්න පුළුවන්. හුදෙක් ආගමික න්‍යායන් ප‍්‍රතික්ෂේප කරලා. ඒවට ගරහලා නිර්මාණ කරනවට වඩා ඒ මාන තේරුම් අරන් නිර්මාණ කරන්න පුළුවන් නම් එයයි වැදගත්.

Q.ඔබේ රූප සමෝධානය ශ‍්‍රී ලාංකේය සමකාලීන අධ්‍යක්ෂවරුන්ට වඩා බොහෝ පොහොසත්. කතාන්දරයක් කීමේදී රූපය වඩාත් ඉස්මතු වීම අපි දැක තිබෙනවා. නමුත් අපේ පේ‍්‍රක්ෂකයෝ බුද්ධිමත්ද ඔබේ රූප න්‍යායන් තේරුම් ගැනීමට?

මැජික් එකක් වුණත් බලන්න ඒ ගැන අදහසක් තියෙන්න  ඕනනෙ. මැජික්කාරයෙක් පෑනක් දාලා පරවියෙක් මවලා පෙන්නනවා. ඒක මැජික් එකක් වෙන්නෙ පරවියා මෙතැනට එන්න බැහැ කියන අවබෝධය මතයි. එවැනි තර්ක ස්වභාවයක් නැත්නම් තේරුම් ගන්න බැහැ. මේකට යම්කිසි ඥානයක් අවශ්‍යයි. යම්කිසි විදිහට සිතුවිලිත් බලපානවා. සියලූම කලාවන් පරිහරණය කරන්න තොත්ත බබාලට බැහැ. සිතුවිලි රහිත සමාජයක සිතුවිලි නිර්මාණය වෙන්නෙත් නැහැ. දකින්න  ඕනෙ, කියවන්න  ඕනෙ, බලන්න  ඕනෙ. ‘නොතේරෙනවා’ කියන ප‍්‍රශ්නෙ තියෙන්නෙ තමන්ගෙ මිසක් චිත‍්‍රපට අධ්‍යක්ෂවරයාගේ නෙවෙයි. කවුරු හරි කිව්වොත්
තේරෙන්න හදන්න කියලා, මට එහෙම කරන්න බැහැ. මං කීදෙනෙක් ගැන හිතන්නද? මට තේරුම් ගිහිං මා සමග නිර්මාණයේ වැඩ කරන අයට මේක තේරෙනවා නම් මට දෙගෙඩියාවක් නැහැ.

Q. ‘සුළඟ එනු පිණිස’ සිනමාපටය අධ්‍යක්ෂණය කරන ඔබ පසුව බූඩි කීර්තිසේනගේ ‘නිම්නයක හුදෙකලාව’ සහ ‘මාතා’ සිනමාපටවලට සහභාගි වෙනවා. මේවා වාණිජ සිනමාපට. කලාත්මක නිර්මාණකරුවෙක්ගේ සිට වාණිජ සිනමාවේ කොටස්කරුවෙක් බවට පත්වෙනවා පමණක් නොව ලංකාවේ ජනප‍්‍රිය නාලිකාවක ‘සංගීත වීඩියෝ’ උළෙලකට තම සහභාගිත්වය ලබා දෙනවා. මේ හරහා ඔබේ භාවිතාවේ යම් පරස්පර විරෝධී තත්ත්වයක් දක්නට ලැබෙනවා නේද?

‘සුළඟ එනු පිණිස’ චිත‍්‍රපටයෙන් තමයි මාව බොහෝ දෙනා දැනගන්නෙ. මං චිත‍්‍රපටය හැදුවේ සටන් විරාම
කාලය තුළ ඒ කාල වකවානුවේ මිනිස්සුන්ගේ ජීවිත තුළ වුණ දේවල් මට පෙන්නන්න  ඕන වුණා.පෞද්ගලිකව මිනිස්සු ගැන මට තියෙන්නෙ අනුකම්පාවක්. මොකද මිනිස්සු අලූත් දේට බයවෙන්න ගන්නවා. ඒකට බයවෙලා. ඒවට විරුද්ධ වෙලා වැඩක් නැහැ. මට මගේ නිර්මාණය හරහා දේශපාලනයට පක්ෂපාතීත්වයක් දක්වන්න වුවමනා වුණේ නැහැ. මාව කෝණවලින් බලන්න ගත්තා. මේ පසුබිමේ මං
බූඩිගේ චිත‍්‍රපටවලත් රඟපෑවා. මොකද මට අවශ්‍ය වුණා ලංකාවේ ඉන්න තවත් නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයකට දායක වෙන්න. මං දේශපාලන රාමුවල හිටියෙ නැහැ. හරි, යුද්ධයට විරුද්ධ නැත්තෙ කවුද? මුළු ලෝකෙම මිනිස්සු යුද්ධෙට විරුද්ධයි. හැබැයි යුද්ධ කරන්න ඉතිරිවෙලා තියෙන
තත්ත්වයන් කුමක්ද? ඒකයි සාකච්ඡුා කළ යුත්තේ. මට මේක විෂයක් විදිහටයි පේන්නෙ. යුද්ධය ගැන අත්දැකීමක් ලබාගන්න මට ලැබුණු හොඳම අවස්ථාව ‘මාතා’ සිනමාපටය හරහා උදාවුණා. කවුරු හරි කෙනෙක් යම් කෝණයකට දාලා තියෙනවා නම් මං කියන්නේ මාව එහෙම දාගන්න එපා. මට නිදහසේ ඉන්න දෙන්න. මගේ නිර්මාණ හරහා මාව නිරීක්ෂණය කරන්න. මට අයිතියක් නැද්ද මං කැමැති දේ
කරන්න. සංගීත වීඩියෝ ගැන යම් කල්ට් එකක් හැදිලා තිබුණ නිසා ඒ සම්මාන උළෙලට ගියේ. ඒ වගේම මං ‘මිස් ශ‍්‍රී ලංකා’ විනිශ්චය කරන්නත් යනවා. මොකද චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදිහට කෙනෙක්ව ලස්සනයි කියන්න බැරි නම් ඒකෙන් වැඩක් නැහැ. මිනිහෙක් වුණාට පස්සෙ ජීවිතෙ විශාලයි. ඒක දකින්න පුළුවන් වෙන්න  ඕනෙ.


Q. ඔබගේ නිර්මාණවලට ‘ලින්චියානු’ බලපෑමක් දක්නට ලැබෙනවා. මෙය ඔබ හිතාමතා කරන දෙයක්ද?

ඬේවිඞ් ලින්ච් පැහැදිලිවම බලපාලා තියෙනවා මට. සමකාලීන සිනමාකරුවන්ගෙන් වඩාත් බලපාපු
සිනමාකරුවෙක් තමයි ඔහු. ඬේවිඞ් ලින්ච් පෞද්ගලිකව හමුවෙලා තියෙනවා මට. ඔහුගේ නිර්මාණ නිරන්තරව මම නරඹනවා. මං ආසයි ඔහුගේ තියෙන අන්තර්භාව ප‍්‍රකාශනවලට. ඔහුගේ සිනමාව නැවත නැවත කියවීමේ හැකියාවක් තියෙනවා. ඬේවිඞ් ලින්ච් ළඟට එනකොට සිනමාව චිත‍්‍රය ළඟට ළං
වෙලා තියෙනවා. හැබැයි මේ මොහොත වනවිට ලංකාවේ සංගීත වීඩියෝ කරන හොඳම කෙනාගේ නිර්මාණත් බලපාලා තියෙනවා.

No comments:

Post a Comment