Thursday, January 31, 2013

බිලී වයිල්ඩර්ගේ නොනවතින සිනමාව

රක්‍ෂණ සමාගමක සාමාන්‍ය සේවකයකු ලෙස සේවය කරනා තරුණයෙක් විධායක ශ්‍රේණියකට යෑමේ අවශ්‍යතාව පදනම් කරගෙන තමන්ට ඉහළ සිටින නිලධාරින්ට උදව් කිරීම ආරම්භ කරයි. ඉහළ නිලධාරින්ට අල්ලස් වශයෙන් මෙම තරුණයාට ලබාදීමට සිදුවන්නේ ඔහු නැවතී සිටින නිවසේ කාමරයයි. ඒ ඉහළ නිලධාරින්ට තම රහස් පෙම්වතියන් රැුගෙන ගොස් ආදරය කිරීමට ඉඩකඩ සලසා දෙමිනි. මේ ඔස්සේ ඉහළ නිලධාරින්ගේ සිත් දිනාගන්නා මෙම තරුණයාට තම විධායක නිලධාරින්ගේ සහය ලැබෙන අතර ඔහුට උසස්වීමක් ලැබෙයි. නමුත් මෙම තත්ත්වය කාර්යාලයේ එක් තරුණියක් නිසා වෙනස් වෙයි. ‘ද එපාර්ට්මන්ට්’ සිනමාපටයේ අන්තර්ගතය වන්නේ ඉහත කී කතාන්දරයයි. ‘ද එපාර්ට්මන්ට්’ සිනමාපටය ‘බිලී වයිල්ඩර්’ අධ්‍යක්‍ෂණයෙන් තිරගත වන ඔහුගේ හොඳම සිනමා නිර්මාණවලින් එකකි. මෙහි සුවිශේෂීත්වය කොතරම්ද යත් 1960 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට, හොඳම අධ්‍යක්‍ෂණයට, හොඳම තිරරචනයට හිමි සම්මාන දිනාගැනීමට සමත් විය.
                 1945දී බිලී වයිල්ඩර් අධ්‍යක්‍ෂණයකට ‘ද ලොස්ට් වීක්එන්ඞ්’  සිනමාපටය උදෙසා හොඳම අධ්‍යක්‍ෂණයට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන දිනාගැනීමෙන් අනතුරුව බිලී වයිල්ඩර් ලබාගත් ඉහළම ජයග‍්‍රහණය වශයෙන් මෙය සැලකෙයි.බිලී වයිල්ඩර් යනු හොලිවුඞ් සිනමාවට බිහිවූ අතිදක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙකි. වයිල්ඩර්ගේ පැවති සුවිශේෂීත්වය වූයේ සරල කතාන්දර ගෙන ඒවා තුළට ජීවය කවා ඉතාම අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. විශේෂයෙන් ඔහුගේ සිනමා නිර්මාණ තුළ පැවතියේ සෝපාහාසය මුසු කතා රටාවකි. අනෙකුත් සිනමාපට තුළ අතිවිශාල පසුතළ, විශාල නළුනිළි පිරිස් මෙන්ම රූගත කිරීමේදී ඉතා විශාල භූ දර්ශන ඇතුළත් කිරීම 1940 ගණන්වල සිට නිරතුරුව දක්නට ලැබුණි. නමුත් බිලී වයිල්ඩර් තම සිනමා නිර්මාණ තුළට ඇතුළු කළේ නාටකේය අවස්ථායි. මෙම නාටකේය අවස්ථා උච්ච බවට පත්කිරීමට නළු නිළියන් අතැඹුලක් සේ යොදාගැනීමට බිලී වයිල්ඩර් සමත් විය. මෙම සුවිශේෂීත්වය හේතුවෙන් බිලී වයිල්ඩර් ඔස්කාර් සම්මාන හතකින් සිය ජීවිත කාලය තුළ පිදුම් ලැබුවේය. එමෙන්ම විසිහතර වරක් ඔහු ඔස්කාර් සම්මාන සඳහා යෝජනා විය. හොඳම තිරපිටපත් රචනය වෙනුවෙන් දොළොස් වරක් නාම යෝජනා වූ අතර ඔහු දෙවැනි වූයේ වූඩි ඇලන් හට පමණි. එමෙන්ම හොඳම අධ්‍යක්‍ෂවරයා වශයෙන් හත්වරක් නාම යෝජනා වූ අතර ඔහු එම අංශයෙන් දෙවැනි වූයේ විලියම් වයිලර්ට පමණි.

1906 ජුනි 22දා ඔස්ටි‍්‍රයාවේ යුදෙව් පවුලක උපත ලද වයිල්ඩර් වයස අවුරුදු දාහතරේ සිට තිරපිටපත් රචනා කිරීම සඳහා පිවිසියේය. නමුත් දෙවැනි ලෝක යුද්ධය ආරම්භයත් සමග වයිල්ඩර්ගේ ජීවිතය වෙනස් විය. ඔහුත් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ විලියම් ලී වයිල්ඩර්ත් තම මවුබිම හැරදා ඔස්ටි‍්‍රයාව බලා පලාගියේ නාසි පාලනයේ දැඩි බලපෑම් ඇතිවීම හේතුවෙනි. ඔස්ටි‍්‍රයාවේ සිටියදී වයිල්ඩර් තම ප‍්‍රථම සිනමා තිර රචනය සිදුකරන්නේය. ඔහු එරික් කර්ට්ගේ  නවකතාවක් ආශ‍්‍රය කරගෙන ‘එමිල් ඇන්ඞ් ද ඩෙටික්ටිව්ස්’  රචනා කරයි. හිට්ලර්ගේ මතුවීමත් සමග 1931දී ප‍්‍රංශය බලාගිය වයිල්ඩර් එහිදී තම ප‍්‍රථම වෘත්තාන්ත සිනමාපටය අධ්‍යක්‍ෂණය කරන්නේය. ‘මවයිස් ගේ‍්‍රන්’  ලෙස නම්කරන එය සාර්ථකත්වයට පත්විය. මෙම සිනමාපටය තිරගතවන සමයේදී බිලී වයිල්ඩර් ඇමෙරිකාවට සංක‍්‍රමණය විය.
ඇමෙරිකාවේදී ඔහු වර්ෂ ගණනාවක් තිරපිටපත් රචකයෙක් ලෙස ක‍්‍රියා කරයි. ඉංග‍්‍රීසි හරියට කතාකිරීමට නොහැකි නිසා සහ මාස හයක වීසා බලපත‍්‍රයක් යටතේ පමණක් ඇමෙරිකාවට පැමිණි නිසා වයිල්ඩර්ට දැඩි ආතතියක් ඇතිවෙයි. සිනමාවට ඇති ආදරය නිසාම විශාල පරිශ‍්‍රමයකින් අනතුරුව හොලිවුඞ්හි තිරකතා රචකයෙක් වශයෙන් ස්ථාවරත්වයට පත්වෙයි. 1939දී තිරගත කෙරුණු ‘නිනොච්කා’ ඔහුගේ සාර්ථකත්වය වඩාත් පෙන්නුම් කළ සිනමාපටයක් විය.
‘නිනොච්කා’ එම වසරේ හොඳම තිරපිටපත වෙනුවෙන් ඔස්කාර් සම්මානය සඳහා යෝජනා විය. මෙම සාර්ථකත්වයත් සමග වයිල්ඩර් ‘බ්ලූබර්ඞ්ස් එයිට් වයිෆ්’, මිඞ්නයිට්  යන සිනමා කෘති රචනා කළේය.
අධ්‍යක්ෂවරයෙක් වශයෙන් බිලී වයිල්ඩර් පේ‍්‍රක්ෂක විචාරක සම්මානයට පාත‍්‍ර වන්නේ ‘බෝල් ඔෆ් ෆයර්’  සිනමා කෘතිය හරහායි. ඔහුගේ ‘ද ලොස්ට් වීක්එන්ඞ්’ 1945 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට සහ තිර රචනයට හිමි සම්මාන දිනා ගත්තේය. එහි කතා හරය බවට පත් වූයේ අධික ලෙස මත්වතුරට ඇබ්බැහි වූ, නවකතාකරුවෙක් වීමට උත්සහ කරන මැදිවියේ පුද්ගලයෙක් පිළිබඳයි. මැරලීන් මොන්රෝ සහ ජැක් ලෙමන්ගේ රංගනයෙන් වර්ණවත් වූ ‘සම් ලයික් ඉට් හොට්’ අදටත් හොඳම හාස්‍යෝත්පාදක සිනමා කෘති අතර ඉහළින්ම වැජඹෙයි. මෙහි තරුණයන් දෙදෙනක් තම ආරක්ෂාවට සහ රැුකියාව පරමාර්ථය කරගනිමින් තරුණියන් දෙදෙනෙක් වශයෙන් වෙස්වලාගෙන කාන්තා වාදක මණ්ඩලයකට බැඳෙයි. මෙය 1959 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට සහ තිරපිටපත නාම යෝජනා විය. බිලී වයිල්ඩර්ගේ ‘ද එපාර්ට්මන්ට්’, ‘ද ෆ‍්‍රන්ට් පේජ්’  ‘ද ෆෝචූන් කුකී’ අදටත් ඔහුගේ විශිෂ්ට සිනමා කෘති වශයෙන් සලකයි.
වසර පනහකට ආසන්න කාලයකදී අධ්‍යක්ෂණයෙන් තිරපිටපත් රචනයෙන් සහ නිෂ්පාදනයෙන් බිලී වයිල්ඩර් සිනමා කෘති හැටකට අධික ප‍්‍රමාණයකට දායක වෙයි. නමුත් බිලී වයිල්ඩර්ගේ දිවියෙහි අවසන් කාලයේ නිර්මාණය කරන සිනමා කෘති 1944 සිට 1987 දක්වා කාලයේ නිර්මාණය කරන සිනමාපට තරම් සාර්ථක වන්නේ නැත. බිලී වයිඩර් 2002 මාර්තු 27 වැනිදා වයස අවුරුදු අනූහයේදී මෙලොවින් සමු ගත්තේය. ඔහු පුරාවෘත්තයක් තරමටම හොලිවුඞ් සිනමාවේ නමක් තැබූ නිර්මාණ ශිල්පියෙක් විය.
ගිය වසරේ හොඳම සිනමා නිර්මාණ සඳහා ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද පසු ‘ද ආර්ටිස්ට්’හි  අධ්‍යක්ෂ මයිකල් හැසනවිකිස් මෙසේ පැවසීය. ‘මම මේ සම්මානය ලැබීම සම්බන්ධයෙන් තුන් දෙනකුට ස්තුතිවන්ත විය යුතුයි. එක බිලී වයිල්ඩර් හට, දෙක බිලී වයිල්ඩර් හට, තුන බිලි වයිලර් හට’ මේ අනුව පෙනී යන්නේ ජීවතුන් අතර සිටියදී හෝ නොමැතිව බිලී වයිල්ඩර්ගේ සිනමා භාවිතය සුවහසක් සිනමා නිර්මාපකයන්ට ප‍්‍රබලව බලපා ඇති බවයි.

No comments:

Post a Comment