Sunday, January 13, 2013

ලෝක සිනමාවේ මිණි කිරුළ ‘වූඩි ඇලන්’


                              ඔහු හැත්තෑ විය ඉක්මවූ මහලූ මිනිසෙකි. උසින් අඩු මේ මිනිසා අද වනවිට ලෝකයේ ජීවතුන් අතර සිටිනා විශිෂ්ටතම තිරකතා රචකයා වශයෙන් සැලකෙයි. ඔහු අන් කිසිවෙක් නොව වූඩි ඇලන්ය. වූඩි ඇලන්ගේ සිනමා කෘතියක් මට ප‍්‍රථම වරට නැරඹීමේ අවකාශය ලැබුණේ 2010 වර්ෂයේය. ඒ ඔහු රචනා කර අධ්‍යක්‍ෂණය කරන ලද ‘වට් එවර් වර්ක්ස්’ සිනමාපටයයි. මෙහි පැවති ස්වයං කථන වින්‍යාසය සිනමා ලෝකයේ රූපරාමු අතර සහ කතාන්දරයේ ගලායාම තුළ සුවිශේෂීත්වයක් නිර්මාණය කළේය. මහලූ වියේ ඇතිවන මානසික ව්‍යාධීන් නිසා භෞතික විද්‍යාඥයකු සියදිවි නසාගැනීමට ගන්නා නිරර්ථක උත්සහය සමග ඇතිවන ති‍්‍රකෝණාකාර ආදර අන්දරයක් මෙම සිනමාපටයට පාදක විය. මෙම තිරපිටපත 1970 වර්ෂයේදී වූඩි ඇලන් රචනා කරන ලද එකක් වන අතර ඔහු සීරෝ මොස්ටෙල්  නම් හැත්තෑව දශකයේ මිය ගිය නළුවා ඉලක්ක කරගනිමින් මෙම තිරපිටපත ලියා ඇත. නමුත් සීරෝ මොස්ටෙල් 1977දී මියයාමත් සමග මෙම සිනමාපටය පසුවට කල්තැබීමට වූඩි ඇලන්ට සිදුවිය. ‘වට් එවර් වර්ක්ස්’ හරහා වූඩි ඇලන් කියැවීම ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහුගේ අනෙකුත් සිනමාපට නැරඹීමෙන් තොරව සිටීමට පේ‍්‍රක්ෂකයන්ට නොහැකි විය.

                             1935 දෙසැම්බර් පළමුවැනිදා නිව්යෝර්ක් නුවර යුදෙව් පවුලකට දාව උපදින මෙම විශිෂ්ට සිනමාවේදියා මේ වනවිට ලෝක සිනමාවට විශිෂ්ට නිර්මාණ 47ක් පමණ දායක කර ඇත. වූඩි ඇලන්ගේ දක්ෂතාව එය නොවෙයි. ලෝක සිනමාවේ විශිෂ්ටයන් අගය කරනා ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙල සඳහා 1978 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වර්ෂ 15කදී වූඩි ඇලන්ගේ නාමය 23 වරක් ඔස්කාර් සම්මාන සඳහා නාමයෝජනා වී ඇත. ඉන් පහළොස් වරක් හොඳම තිරරචනය උදෙසාත්, හත් වරක් හොඳම අධ්‍යක්ෂණය උදෙසාත්, එක් වරක් හොඳම රඟපෑම උදෙසාත් ඔහුගේ නම යෝජනා වී ඇත. ඒ අතරින් හතර වතාවකදී ඔහු සම්මානයට පාත‍්‍රවිය. 1978 වර්ෂයේදී ඔහුගේ විශිෂ්ටතම සිනමා නිර්මාණය වන ‘ඇනී හෝල්’ වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම තිරරචනයට හිමි සම්මානය දිනාගැනීමට වූඩි ඇලන් සමත් විය. අනතුරුව ඔහු අධ්‍යක්ෂණය කරන ‘හැනා සහ ඇගේ සොයුරියන්’ -1986 වෙනුවෙන් හොඳම තිරරචනයට හිමි සම්මානය දිනාගන්නා වූඩි 2012 වර්ෂයේදී යළිත් හොඳම තිරරචනයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නේ ‘මිඞ්නයිට් ඉන් පැරිස්’  සිනමාපටය වෙනුවෙනි.

                                වූඩි ඇලන්ගේ දශක හතරක සිනමා ගමන් මෙඟහි දක්නට ඇති සුවිශේෂීතාව වන්නේ ඔහු කතාන්දරයක් පවසන රිද්මයයි. අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ඔහු සංකීර්ණ රූපරාමු වෙත ගමන් නොගැනීමට වගබලා ගන්නා අතර කතාන්දරය වාර්තා ස්වරූපයකින් ගෙනහැරපෑමට උත්සහ කරයි. මෙහිදී ඔහුට පෙර සිනමාවේ සිටි බිලී වයිල්ඩර් අනුගමනය කළ සිද්ධාන්තද වූඩි ඇලන්ගේ සිනමා ශෛලියේ දක්නට ඇත. රූපය මෙන්ම දෙබස් භාවිතයද වූඩිගේ සිනමා කෘතිවල බහුලව දක්නට ලැබෙයි. සිනමාවට පිවිසීමට පෙර විකට සංදර්ශන පවත්වන්නකු වශයෙන් ඔහු ලැබූ පන්නරය සිනමා තිරරචනයේදී වූඩි නොඅඩුව යොදාගනියි. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණ වශයෙන් සැලකෙන ‘ඇනී හෝල්’, ‘මැච් පොයින්ට්’ ( , ‘හැනා ඇන්ඞ් හර් සිස්ටර්ස්’, ‘ටු රෝම් විත් ලව්’ වැනි සිනමාපට තුළ මෙම ආභාසය බහුලව දක්නට ලැබෙයි.

                                  වූඩි ඇලන්ගේ නිර්මාණකරණයේ ඇති සුවිශේෂී කරුණක් වන්නේ ඔහුගේ විසිරුණු චරිතයට සම්බන්ධ චරිතයක් සෑමවිටම සිනමාපටය සඳහා යොදාගැනීමයි. මෙම චරිතයේ ගතිගුණ හෝ ස්වරූපය වූඩි ඇලන්ගේ චරිතයට බෙහෙවින් සමීපය. මෙම චරිතය හරහා ඔහු සිය පෞද්ගලික දැක්ම සමාජගත කිරීමට නිරතුරුවම උත්සහ කරයි. විශේෂයෙන් ග‍්‍රන්ථ කතුවරයෙක්ගේ, තිර පිටපත් රචකයෙක්ගේ ගැඹුරු කල්පනා සහිත නළුවෙක්ගේ හෝ අධ්‍යක්‍ෂවරයෙක්ගේ චරිතය හරහා තම මතය පැවසීමට ඔහු සමත් වෙයි.

                                          සිනමාවේ කොතරම් දැවැන්තයෙක් වුවද වූඩි ඇලන්ට විශාල චිත‍්‍රාගාරවල දොරටු විවර වූයේ නැත. ඊට හේතුව වන්නේ ඔහුගේ සිනමා නිර්මාණ වාණිජ වශයෙන් අතිසාර්ථකත්වයට පත් නොවීමයි. නමුත් සිනමාවේ මූලික ගුණාංග ආරක්ෂා කරගනිමින් එහි කතා කලාව ඉදිරියට ගලාගෙන යාමට සැලසීම වූඩි ඇලන්ගේ සුවිශේෂීම දක්ෂතාව විය. ස්කූප්  වැනි නිර්මාණයක් ඔස්සේ සරල කතාන්දරයකින් සංකීර්ණ සිද්ධිදාමයක් ඔහු තිරයට ගෙන එයි. ‘ස්කූප්’ සිනමාපටයේ මෙන්ම ‘ද කර්ස් ඔෆ් ජේඞ් ස්කෝපියන්’ , ‘මිඞ්නයිට් ඉන් පැරිස්’ යන සිනමාපටවලදීත් වූඩි යථාර්ථය හා මායාව එකට බද්ධ කළ ඔහු මෙම බද්ධ කිරීම හරහා සැබෑ ලෝකය තුළ චරිත හැසිරෙන ආකාරය මනාව තිරයට ගෙනෙයි. නමුත් ඔහුගේ සංකීර්ණ කතාන්දර ඇතුළත් සිනමා කෘතීන් වන ‘මැච් පොයින්ට්’, ‘කැසන්ඩ‍්‍රාස් ඞී‍්‍රම්’ වැනි සිනමා නිර්මාණ තුළ ජීවිතයේ මුදල් සම්බන්ධ ඇතිවන ගැටලූ හේතුවෙන් මිනිස් සබඳතාවල ගැටලූ මතුවීම සහ ඒවා තවදුරටත් සමාජ සන්දර්භය තුළ ව්‍යාකූල වීම මනාව පෙන්වා ඇත.

                 වූඩි ඇලන්ගේ මුල් කාලීන සිනමා කෘති වන ‘ඉන්ටීරියර්ස්’, ‘මෑන්හැටන්’, ‘රේඩියෝ ඬේස්’ වැනි ගැඹුරු ආඛ්‍යානයක් සහිත සිනමාපටවල සිට මෑත කාලීනව අධ්‍යක්ෂණය කළ ‘යූ විල් මීට් අ ටෝල් ඩාර්ක් ස්ටේ‍්‍රන්ජර්’ , ‘හොලිවුඞ් එන්ඩින්’ වැනි සිනමාපට වඩාත් සරල සහ උපහාස රසය නොඅඩු කෘති බවට පත්ව ඇත.

සිනමාකරුවෙක්, නවකතා රචකයෙක් මෙන්ම ලෝකයේ විශිෂ්ටතම ප‍්‍රහසන ශිල්පියෙක් වශයෙන්ද නමක් දිනා සිටින වූඩි ඇලන් පිළිබඳ ‘නිව්යොර්ක් ටයිම්ස්’ පුවත්පත පැවසුවේ ඔහු සිනමාවට ලැබුණු මාණික්‍යයක් බවයි.
ලෝක සිනමාවේ මිණි කිරුළ ‘වූඩි ඇලන්’

No comments:

Post a Comment