Friday, March 1, 2013

‘විශ්වරූපම්’ දැන් හරිද?                                            

                                       ‘විශ්වරූපම්’  සිනමාපටය පිළිබඳ අපි මුලින්ම ඔබ දැනුවත් කළේ සිනමාපටයේ පූර්ව ප‍්‍රචාර කටයුතු ආරම්භ වෙද්දීමයි. සිනමාපටය තිරගත වීමටත් කලින් විශ්වරූපම් ලොව පුරා පුවත් මවන සිනමාපටයක් බවට පත්වුණා. විශේෂයෙන්ම මේ සිනමා කෘතියේ ඇතුළත් දර්ශන 15ක් ඉවත් කරගන්නා ලෙසට මුස්ලිම් සංවිධාන රැසකින් මතු වූ විරෝධතා නිසා චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ කමල හසන්ට පවා දැඩි අසීරුතාවකට පත්වීමට සිදුවුණා. කමල හසන් කියන්නේ කවුද කියලා අපේ රටේ කොලිවුඞ් සිනමා රසිකයන්ට අමුතුවෙන් කිවයුතු නැහැ.
ඔහු ‘විශ්වරූපම්’ සිනමාපටයට කලින් අධ්‍යක්‍ෂණය කළ ‘මන් මදන් අම්බු’  ලොව පුරා සාර්ථකව තිරගත වුණා. මේ නිසා නැවත වරක් ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණයක් සමග පේ‍්‍රක්‍ෂකයන් හමුවට පැමිණීමට කමල හසන් පියවර ගත්තත් ‘විශ්වරූපම්’ තිරගත කිරීමටත් පෙර ඉන්දීය මුස්ලිම් සංවිධාන එහි ඇතැම් දර්ශන පිළිබඳ සිය විරෝධතා ගොනුකරමින් නඩු මඟට පිවිසියා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ‘විශ්වරූපම්’ සිනමාපටය දමිළ ජනතාව වැඩි වශයෙන් සිටිනා තමිල්නාඩු ප‍්‍රාන්තයේවත් ‘විශ්වරූපම්’ ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි වීමයි. කොහොම වුණත් දර්ශන පහක් හඬ නැති කරමින් ඒ කියන්නේ මුස්ලිම් සංවිධානවල ඉල්ලීම්වලින් කොටසක් ලබාදෙමින් ‘විශ්වරූපම්’ ප‍්‍රදර්ශනය කිරීම ඇරඹුණත් මේ හේතුවෙන් කමල හසන් හට ඉන්දීය රුපියල් කෝටි 30-60 අතර මුදලක් අහිමි වනු ඇති බවට විචාරකයන් පෙන්වා දෙනවා.
 අනෙක් පසින් ‘විශ්වරූපම්’ ලංකාවේ සහ මැලේසියාවේ ප‍්‍රදර්ශනය තහනම් කිරීමට පියවර ගත්තේ මුස්ලිම් ජාතිකයන්ගේ ගැටලූව නිසාමයි. නමුත් ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලයේ අධීක්‍ෂණයෙන් සහ සංස්කෘතික අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මුස්ලිම් ජාතිකයන්ට අපහාස වන දර්ශන ඉවත් කිරීමෙන් අනතුරුව ‘විශ්වරූපම්’ මෙරට ප‍්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒත් සමග ලංකා ‘උලමා’ සංවිධානය පවසන්නේ මෙය ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීමත් සමග ජාතීන් අතර අසමගිය නිර්මාණය විය හැකි බවයි.
කෙසේ හෝ වේවා මේ වනවිට මෙම මතභේදතා මධ්‍යයේ ‘විශ්වරූපම්’ වෙත ඉහළම ප‍්‍රසිද්ධියක් ලැබී තිබෙනවා. එය එහි අධ්‍යක්‍ෂ, තිර රචක සහ සමනිෂ්පාදක කමල හසන්ගේ සතුටට කාරණයක් වෙනවාට සැක නැහැ. විශ්වරූපම්හි කමල හසන්ට අමතරව පූජා කුමාරි, රාහුල් බෝන්, ඇන්ඩෙ‍්‍රයා ජෙරමියා සහ ජගිනීස් අහිලම්ට් රඟපානවා.
විශ්වරූපම් සිනමාපටය හරහා නැගෙන කලාව-කලාව උදෙසාද එසේත් නැත්නම් මිනිසා උදෙසාද කියන ගැටලූව මේ මොහොත වෙද්දීත් පැන නැගී අවසන්. මොකද ආගම්වාදී අන්තගාමී නොවී මැදිහත් සිතින් කලා කෘතියක් නිපදවීමට මෙන්ම රසවිඳීමටද අවකාශයක් අප සෑම දෙනාටම තිබෙනවා. හොලිවුඞ් සිනමාපටයක මුස්ලිම් ආගමට අගරු වන දෑ පවතිද්දී ඒවා නරඹන මුස්ලිම් සංවිධාන දමිළ සිනමාපටවලට පමණක් කෑගසන්නේ ඇයිද යන්නත් සොයා බැලිය යුතු වෙනවා.

No comments:

Post a Comment