Tuesday, May 28, 2013

මගේ පෙම්වතිය
මාව ඉම්බා


වසන්තේ එනවා කියන්නෙ ගහකොළ ආපහු කොළ, කහ පාටවලින් වර්ණවත් වෙන එක. ඒක දියවෙන අයිස්ක‍්‍රීම් එකක් තරම් ආදරයෙන් බේරෙනවා. අපි බේරෙන ජීවිත අස්සේ අපිව ම හොයාගෙන යනවා. කැලැන්ඩරයෙ කොළ ඉවරවේගෙන ගියහම තවත් අවුරුද්දක මහා බලාපොරොත්තු ගොන්නක් ඉස්සරහ හරිම පුංචියට අපි බලාගෙන ඉන්නවා. ඒත් ඒ බලාපොරොත්තු කීයෙන් කීයක් ඉෂ්ට වෙනව ද අවුරුද්දක් අස්සෙදී. මං බොහොම සැහැල්ලූවෙන් හිතන්න ගත්තා. ඒත් එහෙම හිතන්න බැහැ. මොකද මගේ හීන කන්ද කැලැන්ඩරය ඉස්සරහ එහෙමම යි. අවාසනාවන්ත සිදුවීම් හා වාසනාවන්ත සිදුවීම් අතරෙ ජීවිතය දෝලනය වෙනවා. එතකොට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මගේ ප‍්‍රතිරූපය දිහා බලාගෙන ඉන්නවා. ඒ ඉන්නෙ මම නෙවෙයි. වම-දකුණ මාරුවුණ කෙනෙක්. මං ආපහු බිම වාඩිවෙනවා. මොකද ආපහු අද ඉඳන් අලූත් අවුරුද්දක් නිසා. ජයග‍්‍රහණ පස්සෙන් ම පරාජය ආපු ජීවිතයක්. හැමෝගෙ ම ජීවිතවල පවතින කාලකණ්ණි හිස්බව වහගන්න, එක එක දේවල් හොයන අවුරුද්දක්. ඒත් දියවෙන අයිස්ක‍්‍රීම් එක ආශාවෙන් කනව වගේම අස්ථිරතාවට ආදරය කරන්න පුරුදු වෙන්න වෙනවා. මොකද අවදානමක් ගන්න බය ජීවිතය ජීවිතයක් නෙවෙයි කියලයි මට හැමවෙලාවෙ ම හිතෙන්නෙ. මාත් එක්ක දුවන අශ්වයො දිහා වෙලාවකට නැවැතිලා බලන් ඉන්නවා. මං තවමත් විඳවනවා ඒ දැනුම පිළිබඳ හිස්බව තුළ. කෙනෙක් කොච්චර දැනුවත් විය යුතු දැයි කියන නිර්ණායකය මං ගාව නැහැ. නමුත් පළිඟුවක් වගේ හදවතක් කෙනෙක්ට තියෙනවනම් කොයිතරම් හොඳ ද? එහෙම වුණොත් ලෝකෙට කොයිතරම් ලස්සන ආදරවන්තයො බිහිවෙයි ද ? එතකොට ඇත්තට ම අපිට අපි ව හොයාගෙන යන්න පුළුවන් ගමන වේගවත් වෙයි. හැමවෙලාවෙ ම මට මාව අභියෝගයක් වෙන නිසා ඔළුව ඇතුළෙ දහසක් දේවල් වැඩකරන්න පටන් ගන්නවා. ඒවායින් කොයිතරම් සුළු ප‍්‍රමාණයක් ද ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නෙ. වෝල්ට් ඩිස්නි, ස්ටීවන් ස්පිල්බර්ග්, ජේ.කේ. රෝලින් වගේ හීන දකින එක අපිට කරන්න පුළුවන්. නමුත් එයාලා ඒක යථාර්ථයක් කරනවා. ෆැන්ටසිය යථාර්ථයට ගේන්න උම්මත්තක ස්වරූපයක් තිබිය යුතුයි කියලා මං හැමවෙලාවෙ ම හිතනවා. මොකද කාව්‍යොත්මක හැම සුන්දර මිනිසෙක් ළඟම පුදුමාකාර ආදරණීය බවක් තියෙනවා. හරියට අවුරුදු පහේ පොඩි එකෙක් සමනළයන් පස්සෙන් යනවා වගේ. අපි අපේ සියලූම හීන එක පෙට්ටියකට දාලා, වහලා ඒ පෙට්ටිය මත වෙනම ම සැලසුම් ගහනවා. ඒ යථාර්ථය ද මායාව ද කියන එක තේරුම්ගන්න බැරිව. අලූත් වෙන්න හොඳම කාලය ආවත්, ඒ පාට අපිට පේන්නෙ නැතිවෙනවා. ඒකට හේතුව තවමත් අපි දාගෙන ඉන්න කණ්ණාඩි අනුන්ගේ වීම හෝ ඒවා පාටපාට වීම. පියවි ඇසින් දේදුන්නක් දකින්න දුරුතු හීතලේ මම ගෝල්ෆේස් එකේ වාඩි වෙනවා. එහාට මෙහාට යන ගොඩක් ජීවිත අතර මගේ පෙම්වතිය හිරිකඩ අස්සේ තුරුළු වෙලා මගෙ කම්මුල ආදරණීය විදිහට බොහොම උණුසුම් ව ඉඹිනවා. ඈතින් මුළු කොළඹ ම පොඩියට පේන්නෙ. අහසේ පාටපාට සරුංගල් අතරින් මම මට ම සුබඅලූත් අවුරුද්දක් කියා ගන්නවා. ආයෙත් මගේ සිහින ලෝකෙට යන්න.

No comments:

Post a Comment