හොලිවුඞ් සිනමාවේ ඉතාලියානු සම්භවය
‘මගේ සිනමා නිර්මාණ සඳහා චරිත තෝරා ගැනීම සිදු කළේ ඇමෙරිකානු බටහිර සිනමා නිර්මාණ තුළින්. නිව් ඔර්ලන්ස් පළාතෙන් ආපු ගණිකාවක්, අසුන්පිට යන මංකොල්ලකරුවන් පිරිසක්, පොහොසත් ව්‍යාපාරිකයෙක් සහ මේ සියල්ල පිටුපස සිටිනා වීරයෙක් යන චරිත සියල්ල ඇමෙරිකානු සිනමා ආභාසය සහිතව නිර්මාණය කළ ඒවායි. මේ සියලූ චරිත එක් කතාන්දරයකට ගොනුකරගෙන ඉන් අනතුරුව මරණය තෙක් නර්තනයක් ඇරඹීමයි මගේ කාර්යය බවට පත්වුණේ. එය ඇතැම්විට මගේ ඉතාලියානු සම්භවය අතික‍්‍රමණය කළා’
සර්ජියෝ ලියෝනි නම් විශිෂ්ට අධ්‍යක්ෂවරයා වරක් තම සිනමා නිර්මාණ තුළ ඇති ශක්‍යතාවන් පිළිබඳ කථිකාවකදී පැවසීය.
හොලිවුඞ් සිනමා වංශකතාවේ පතාක යෝධයකු බවට පත්වීමට සර්ජියෝ ලියෝනිට හැකි වුවත් ඇතැම් අවස්ථාවකදී විචාරකයන් නිර්දය ලෙස ඔහුව විවේචනය කළේ ‘ස්පැගටි වෙස්ටර්න්’ අධ්‍යක්ෂවරයෙක් පමණක් බව පවසමිනි. ‘ස්පැගටි වෙස්ටර්න්’ යනුවෙන් හොලිවුඩයේ ෂොනරයක් නිර්මාණය වන්නේ ඉතාලි අධ්‍යක්ෂවරු නිසාය. හැටේ දශකයේදී සර්ජියෝ ලියෝනි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මූලිකත්වය ගන්නා මෙම ෂොනරය යටතේ 1980 වනවිට හොලිවුඩයේ සිනමා කෘති 600කට අධික ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබුණි. ඉතාලි අධ්‍යක්ෂවරු සහ යුරෝපීය රටවල සම නිෂ්පාදකයන් බොහෝ අවස්ථාවලදී මෙම නිර්මාණවලට දායකවීම නිසා ‘ඉතාලෝ -වෙස්ටර්න්’
නමින්ද මේවා හැඳින්විණි. කෙසේ වෙතත් මෙම නිර්මාණ අතරින් පෙර ගමන් කළ නිර්මාණ හා වඩාත් ප‍්‍රචලිත නිර්මාණ බවට පත්වූයේ සර්ජියෝ ලියෝනි අධ්‍යක්ෂණය කළ සිනමාපටයි. ‘ඩොලර් ති‍්‍රත්වය’ නමින් හැඳින්වුණු ‘අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස්’ ‘ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝර්’ සහ ‘ද ගුඞ්, ද බෑඞ් ඇන්ඞ් ද අග්ලි‘ යන සිනමා නිර්මාණ වඩාත් කැපී පෙනුණි. එමෙන්ම සර්ජියෝ ලියෝනිගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන ‘වන්ස් එපොන් අ ටයිම් ඉන් ද වෙස්ට්’ සිනමා නිර්මාණය අතිශය ජනප‍්‍රිය වූ අතර මෙම නිර්මාණ සමග නව ආකෘතියක් ඇතිවිය.
මේ ආකාරයෙන් වූ සර්ජියෝ ලියෝනිගේ සාර්ථකත්වය දශක දෙකහමාරක කාලයක් පැවැතුණි. මෙම කාලවකවානුව තුළ ඔහු සිනමා නිර්මාණ නවයක් නිර්මාණය කළේය. මෙම නිර්මාණ නවයේ සාර්ථකත්වය පිටුපස සිනමාපටයට යොදාගත් සංගීතය බෙහෙවින් බලපෑවේය. ඔහු තම සංගීතඥයා වශයෙන් යොදා ගත්තේ ‘ඉනි ඕ මොරොක්කෝනි’ වය. ඉනි ඕ සහ සර්ජියෝ ලියෝනිගේ ඒකාත්මික වීම සිනමා සංගීතයේ පෙරළියක් ඇති කළේය. ඉනි ඕ ද, සර්ජියෝ මෙන්ම ඉතාලි ජාතිකයෙකි. එසේම මොවුන් පාසල් සමයේ සිට මිතුරන් වූ අතර සිනමා නිර්මාණ සඳහා සංගීතය නිර්මාණය කිරීමේදී මිත‍්‍රත්වයේ අවබෝධය බෙහෙවින් ඉවහල් වන්නට ඇත. ඔවුන් දෙදෙනාගේ සංකලනයෙන් අතිශය ජනප‍්‍රියවූ ‘ඩොලර් ති‍්‍රත්වයෙහි’ සංගීතය පිළිබඳ අද වනවිට සිනමා පාසල් තුළ අධ්‍යයනයටද ගෙන තිබේ. ඊට හේතුව වනුයේ සර්ජියෝ ලියෝනිගේ ‘කව්බෝයි’ සිනමාපට තුළ ඇතුළත් රූපරාමුවල ශක්‍යතාව වර්ධනය කිරීම ඉනි ඕගේ සංගීතයට හැකිවීමයි.
සර්ජියෝ ලියෝනිගේ සිනමා සම්ප‍්‍රදාය බවට පත්ව තිබුණේ දෙබස් අඩු සිනමාවකි. මෙම ‘කව්බෝයි’ සිනමාපට සඳහා පාදක වූයේ ඉතා දුෂ්කර ශුෂ්ක ප‍්‍රදේශවල පිහිටි ගම්මානයි. මෙම ගම්මානවල පිහිටීම මත කිසිදු ආකාරයකට ඒවායේ යහපත් වැඩ සිදු වන්නට නොහැකිය. නගරය හා ඔවුන්ගේ ලෝකය බොහෝවිට යවන්නේ දුම්රිය මඟින් පමණක්මය. මෙම දුම්රියද ඇතැම් අවස්ථාවලදී අසුපිට නැගුණු මංකොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට නතුවෙයි. මෙම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර ඔවුන්ගේ රූපද ප‍්‍රසිද්ධ කර තිබේ. පවතින නීතිය හෝ ෂෙරින්වරුන් මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අසමත්ය. මේ නිසා සෑම අවස්ථාවකදීම වීරයෙක් මතුවෙයි. සර්ජියෝ ලියෝනිගේ සිනමාපට තුළ ඇතැම් අවස්ථාවලදී වීරයන් දෙදෙනෙකි. මොවුන් තම අභිමතාර්ථය වෙනුවෙන්
නොවළහා ක‍්‍රියාකරයි. මේ හේතුවෙන් කතාන්දරය තුළ ආතතිය පවත්වා ගැනීම උදෙසා දුර රූප මෙන්ම
අතිසමීප රූපද සර්ජියෝ ලියෝනි නොඅඩුව භාවිත කරයි. මෙලෙස භාවිත කරනා රූපරාමු සමග ඉනි ඕගේ සංගීතය මනාව පෑහෙයි. සර්ජියෝ තම සිනමා කෘතිවල සංගීතය පිළිබඳ මෙසේ පවසයි.‘ඉනි ඕගේ සංගීතය භාවමය වශයෙන් මාව වෙනත් ස්ථානයකට නිරතුරුවම රැුගෙන යනවා. හැබැයි අපි අතර නිර්මාණ කාර්යයේදී නිරතුරුව ගැටුම්ද ඇති වුණා. මෙම ගැටුම් හරහා හොඳ දෙයක් අවසාන වශයෙන් පිටතට ගන්නයි අපි දෙදෙනාටම වුවමනා කළේ. මගේ සිනමාපට තුළ පවතින්නේ දෙබස් අඩු රූපරාමු අධික ක‍්‍රමවේදයක්. මෙම ක‍්‍රමවේදයේදී මට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සංගීතය ඉස්මතු වෙන්න වුවමනා වුණා. අපි අතර පවතින ගැටුම් නිසා (ඒවා නිර්මාණය උදෙසාම සිදුවූවක්) මම තීරණය කළා මගේ අවසාන නිර්මාණය වූ ‘වන්ස් එපොන් අ ටයිම් ඉන් ඇමෙරිකා’ කෘතියේ තිරපිටපත ලිවීමෙන් පසු සංගීතය නිර්මාණය කරන්න ඉනි ඕට බාර දුන්නා ඔහු එය ඉතාමත් සාර්ථකව සිදුකළා’
සර්ජියෝ ලියෝනිගේ සිනමා කෘති තුළ අතිවිශාල කණ්ඩායමක් වාදනය කරනා සංගීත ඛණ්ඩ, වෙඩි හඬ සමග පරස්පරව ඇසෙනා සංගීත ඛණ්ඩ, සුරුවම් බෑම්, මවුත් ඕගන් වාදන, ගිටාර් ඛණ්ඩ බහුලව අඩංගු විය. මේවා සිනමාපටයේ දර්ශනවල ත‍්‍රීව‍්‍රතාව වර්ධනය කරගැනීමට රැුකුලක් විය.සර්ජියෝ ලියෝනිගේ සිනමා කෘතිවලට අමතරව ඉනි ඕ තවත් සිනමාපට 500කට පමණ සංගීතය සැපයීය. නමුත් සර්ජියෝ ලියෝනි සමග පැවති සබඳතාව මෙන් ඔහුට අතිසාර්ථකත්වයක් ලැබීමට නොහැකිවිය. සර්ජියෝ ලියෝනි 1984දී ‘වන්ස් එපෝන් අ ටයිම් ඉන් ඇමෙරිකා’ නිර්මාණය කිරීමෙන් පසු තම සිනමා ගමනට තිත තැබීය. ඒ එම නිර්මාණයේ සංස්කරණය පිළිබඳ ඇති වූ මතභේදයන් හේතුවෙනි. කෙසේ වෙතත් අදටත් සර්ජියෝ ලියෝනිගේ ප‍්‍රබල රූප රාමු සහ ඉනි ඕ මොරොක්කෝනිගේ සංගීතය මිශ‍්‍රවී ගොඩනැගුණු සිනමාවේ මායාමය ස්වභාවය ඊට පසුව බිහිවූ නිර්මාණ ශිල්පීන්ගෙන් දක්නට නොමැති තරම්ය. අදටත් ලෝක සිනමාවේ විශිෂ්ට කෘති ලෙස සැලකෙන සර්ජියෝ ලියෝනිගේ සිනමාව වර්තමාන පරපුර පවා මහත් ආශක්තව නැරඹීමට පුරුදුව තිබේ.
No comments:
Post a Comment