Monday, January 6, 2014

New cinema techniques

නව සිනමා සංස්කෘතියකට

                    පවතින සිනමා කතිකාවන් තුළදී අප රට තුළ මූලිකම අවධානය යොමුවන්නේ ‘ආර්ට් හවුස්’ සිනමාපට පිළිබඳයි. පසුගිය දශක දෙකක කාලය පුරා ‘ආර්ට් හවුස්’ සිනමාවක් ගොඩනැගීමෙහිලා මහත් වූ වෙහෙසක් දැරූවන් පිළිබඳ මතිමතාන්තර අදටත්  ඕනෑම පුවත්පත් කලා අතිරේකයක දැකිය හැකි වෙයි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමා නිර්මාණ හරහා අප රටේ වර්ධනය වූයේ සිනමාව නොව ‘ආර්ට් - හවුස්’ සිනමාවයි. මේ එක් කලා මාධ්‍යයක් තුළ පවතින ෂොනර මිසක් සිනමාවම නොවෙයි. අප දන්නා පරිදි සිනමාව පිළිබඳ කතාබහ සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ බොහොමයක් ක‍්‍රියාත්මක වන්නේ කොළඹ කේන්ද්‍ර කරගනිමින්ය. ‘හොඳ’ හෙවත් විචාරකයන්ට සාපේක්ෂව නිර්මාණාත්මක ගුණයෙන් උසස් සිනමා කෘතියක් පැමිණි විට සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ පවත්වා ඒවායෙහි පවතින සාධනීය තත්ත්වයන් පිළිබඳ වැඩියෙනුත් දුර්වලතාවන් පිළිබඳ අඩුවෙනුත් කතා කිරීම නිරන්තරවම සිදුවන්නේය. අප දන්නා ආකාරයට චිත‍්‍රපටයක අධ්‍යක්‍ෂවරයා හෝ නිෂ්පාදකයා විසින් ඔහුගේ හිතවතුන් කිහිපදෙනෙකු හට පවසා මෙවන් සම්මන්ත‍්‍රණ කතිකාවන් සිදුකරයි. මේ හරහා සිනමාපටය පිළිබඳ ගැඹුරු පුනර්කථනයක් වනවා වෙනුවට සිදුවන්නේ එම කෘතිය පිළිබඳ ගුණ ගායනා කිරීමක්ය. මෑතකාලීනව එලෙස බිහිවූ සිනමා දේශකයන් කිහිපදෙනෙකු දෙස බැලීමේදී අපට පෙනෙන්නේ මොවුන් කොහෙන් හෝ තියරියක් දෙකක් පමණක් දැන කෙළ පැමිණියන් මෙන් කතාබහ කිරීමයි. මෙම ලියුම්කරුට පෞද්ගලිකව මුහුණදීමට සිදුවූ අත්දැකීමක් හරහා මෙය වඩාත් පසක් වයි.

                              පසුගිය මාසයේ (දෙසැම්බර්) කොළඹ කේන්ද්‍ර කරගෙන කෙටි සිනමාපට උළෙලක් සහ තරගාවලියක් සංවිධානය කර තිබුණි. මෙම උළෙල නැරඹීම සඳහා පුවත්පත් කිහිපයකට විචාර සපයන විචාරකයෙක් සහභාගි විය. ඔහුගෙන් තරුණ කෙටි චිත‍්‍රපට නිර්මාණකරුවෙක් ප‍්‍රශ්නයක් විමසුවේ තමාගේ සිනමාපටය පිළිබඳ විචාරකයාගේ අදහස කුමක්ද යන්නයි. විචාරකයා ගත්කටටම කියා සිටියේ ‘මේ චිත‍්‍රපටය ඔයාලා කරන්න  ඕනෙ දෙයක් නෙවෙයි’ කියායි. තරුණ අධ්‍යක්‍ෂවරයා නිර්මාණය කරන ලද කෙටි චිත‍්‍රපටය වෙනත් මාදිලියේ අත්හදා බැලීමක් විය. එය මෙම ප‍්‍රකට විචාරකයාට තේරී තිබුණේ නැත. ඔහුට අනුව එම සිනමා උළෙලේ සම්මානයට පාත‍්‍ර වූ වෙනත් චිත‍්‍රපටයක් අග‍්‍රගන්‍ය විය. නමුත් එයද සිනමා ආඛ්‍යානය තිරපිටපතේ සිටම වේශ නිරූපණය, රඟපෑම ආදී මූලිකාංගයන් සියල්ලම දැඩි ප‍්‍රශ්න කළ යුතු තත්ත්වයේ තිබූ එකකි. එය මෙම විචාරකයාට පෙනී නොතිබුණේ අධ්‍යක්‍ෂවරයා සමග තිබූ සමීප සබඳතාවක් නිසාදැයි නොදනිමි. කෙසේ වෙතත් මෙම විචාරය සමග තරුණ අධ්‍යක්‍ෂවරයාගේ ධෛර්යය හීන විය. ඔහු තවදුරටත් සිනමාවේ රැුඳී සිටීද හෝ වෙනත් සිනමාපටයක් නිර්මාණය කරයිද යන්න පිළිබඳ ගැටලූකාරී තත්ත්වයක් මතුවූ බව නම් කිව යුතුය. මෙවන් විචාර කලාවන් දෙස බැලිය යුත්තේ උපේක්ෂා සහගතවය. මක්නිසාද යත් මෙවන් විචාර හරහා සිදුවන්නේ අවැඩක් විනා යහපතක් නොවීමය. මෙරට සිනමාව කර්මාන්තයක් වශයෙන් නොපවතින්නට මූලික හේතුවක් ලෙස විචාරයේ පක්ෂපාතී සහ ඒකමිතික ස්වභාවය හේතු වී ඇත. කර්මාන්තයක් ලෙස සිනමාවක් පවතින්නේ නම් ඒ හා සහසම්බන්ධ වූ කරුණු කාරණා රාශියක් අවශ්‍ය වෙයි. උදාහරණයක් ලෙස සිනමා සංස්කෘතියක් පවතින රටක චිත‍්‍රපට නිර්මාණය කරනවා වගේම ඒවාට සමපාත වශයෙන් ප‍්‍රවර්ධන කලාවක්, මෝස්තර කලාවක්, සමාජ සේවා ක‍්‍රමවේදයක්, තරු පවත්වාගෙන යාමේ ක‍්‍රියාවලියක්, සමාගම් සමග මිශ‍්‍ර වූ සිනමාපට ඉදිරියට යෑමේ ක‍්‍රමවේදයක් ජනමාධ්‍ය භාවිතයක්, සමාජ කතිකාවක්ද ඇති විය යුතු වෙයි. නමුත් අප රටේ එවන් සිනමා සංස්කෘතියක් ඇතිවීම පවා පවතින්නේ දුරස්ථ භාවයකිනි. කර්මාන්තයක් නොමැති ස්ථානයක තවදුරටත් සිනමාව ගොඩනැගීම ‘ආර්ට් - හවුස්’ චිත‍්‍රපට කරාම යොමු කිරීමට බොහෝ පිරිසක් උත්සහ ගනිති. මේ බව පසුගිය කාලයේ බිහිවූ සිනමාපට මෙන්ම එම සිනමාපට නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය කළ පුද්ගලයන් අද විඳින වරදාන, වරප‍්‍රසාද සහ විදෙස් මැදිහත්වීම්වලින් ස්ඵුට වෙයි. මෑතකදී බිහිවූ නවක තරුණ අධ්‍යක්‍ෂවරයෙකු සල්ලාපයෙහි යෙදී සිටියදී මෙසේ පැවසීය.

               ‘මම ෆිල්ම් කරන්නෙ මොකක් හරි කරන්න  ඕනෙ නිසා, මට පොරක් වෙන්න හිතුණා ඉතින් ක‍්‍රමයක් හම්බ වුණා, ඒකෙන් මං මගේ ජීවිතේ ගොඩදාගන්න උත්සහ කරනවා’

                ඔහු පැවසූ පරිදිම මේ වනවිට සිනමාපටයක් නිර්මාණය කර ඇති අතර ඒ නිසා විදෙස් රටවලින් සුවිශේෂී  ගරු කිරීමක් හා ඇගයීමක් ලැබී ඇත. නමුත් තවමත් ඔහුගේ සිනමාපටයේ තාක්ෂණ ශිල්පීන් ලෙස සහභාගි වූ පිරිසට අදාළ ගෙවීම් සිදුකර නැත. නමුත් අප චිත‍්‍රපට සංස්කෘතියක් කුමන හෝ බාධක මාධ්‍යයේ නිර්මාණය කර ගන්නවා නම් මෙවන් දුර්වලතාවලින් ගැලවී සිටිය හැකිය. කොටින්ම ‘කල්ට්’ ෆිල්ම්ස්වලින් පමණක් සිනමාවක් පැවතිය නොහැකිය. අප කළ යුත්තේ සමස්ත සිනමාවේම උන්නතිය වෙනුවෙන් සිනමා සංස්කෘතියක් ඇතිකිරීමට පෙරමුණ ගැනීමයි. මෙහිදී අධ්‍යක්‍ෂවරුන්ගේ කාර්යභාරය පිළිබඳද ගැටලූවක් මතුව ඇත. සෝමරත්න දිසානායක, ජයන්ත චන්ද්‍රසිරි වැනි නිර්මාණකරුවන් සිනමාව තුළ යම් කාර්යයක් කරන බව පැහැදිලිය. නමුත් ඔවුන් තමන්ට හිමි ‘සිවිල්’ දේශපාලන බලය භාවිත කර තමන්ටම දෙයක් කරගන්නවා විනා සිනමාවට යමක් කරන බවක් නොපෙනෙයි. ජැක්සන් ඇන්තනී වැනි පෙරදී වාමවාදී අදහස් දැරූ කලාකරුවන් තමන්ට දේශපාලන බලධරයන්ගෙන් ලැබෙන සුවපහසුකම් මත තම සුඛවිහරණය වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටියි. මේ අන්තවාදී ඉවුරු සිඳ දැමිය යුතුය. එසේ නොවනතාක් සිනමාව හුදු අනෙක් කලාවක් බවට පත්වනු ඇත. එමෙන්ම දැනට මෙරට තුළ පවතින සිනමා පාඨමාලා පිළිබඳද යමක් සඳහන් කළ යුතු වන්නේය. මෙම සිනමා පාඨමාලා තුළ තාක්ෂණික සහ යම් විෂය කාරණා කියා දුන්නත් අනෙකුත් අවශේෂී කාරණා උගන්වන්නේ නැත. දක්ෂ සිනමාකරුවෙක් මෙන්ම ගුරුවරයෙක් වූ ආචාර්ය තිස්ස අබේසේකරයන් සිනමාව පිළිබඳ මෙසේ පැවසීය.

‘සිනමාව කියන්නෙ ගායනය, වාදනය, නවකතාව, චිත‍්‍රය, වේදිකා නාට්‍ය ආදී මේ සියල්ල කැටිකොටගත් සංස්ලේෂී කලාංගයක්. මෙය හුදු ආන්තීකරණයට ලක්කර ඉගෙන ගැනීමට හෝ උගැන්වීමට බැහැ’

මීටම සමාන අදහසක් සර්ජි එම්. අයිසන්ස්ටයින් නම් රුසියානු මහා සිනමාවේදියා පවසයි.

‘මම ගණිතය, අංක විද්‍යාව, තාරකා ශාස්ත‍්‍රය, මනෝවිද්‍යාව යන  ඕනෑම විෂයක පොත් කියවනවා. මම දන්නවා අධ්‍යක්‍ෂ කෙනෙකුට මේ සියල්ල වුවමනා වෙනවා කියලා’

                         නමුත් අපේ සිනමා පාඨමාලා තුළ මෙසේ ගැඹුරු හැදෑරීමක් නවක අධ්‍යක්‍ෂවරුන්, තිරපිටපත් රචකයන්, කැමරාකරුවන් වෙත ලැබෙන බවක් නොපෙනේ. මක්නිසාද මොවුන් සිදුකරනා නිර්මාණ සමලිංගිකත්වය,
ෙලෙංගික පීඩනය, මත්ද්‍රව්‍ය, ස්ත‍්‍රී අයිතිවාසිකම් යන මාතෘකාවලට පමණක් සීමා වී තිබීමයි.
සිනමා සංස්කෘතියක් පැවතියේ නම් අපට මෙතරම් කතා කළ යුතු තත්ත්වයක් උද්ගත නොවනු ඇත. ලිපිය අවසන් කිරීමට අධ්‍යක්‍ෂ චන්ද්‍රන් රත්නම් පැවසූ දෙයක් උපයෝගී කරගනිමි.

‘චිත‍්‍රපටයක රසයයි වැදගත්. එය සාමාන්‍ය ජනයාට දැනිය යුතුයි. කොහෙන් හෝ රූප රාමු අරන් සිනමාපට කරලා චරිත වෙනවට වඩා මෙරටට ගැළපෙන සිනමා කෘතීන් නිපදවීම හරහා සිනමාව ගොඩනැගිය හැකියි’