Tuesday, May 28, 2013

මගේ පෙම්වතිය
මාව ඉම්බා


වසන්තේ එනවා කියන්නෙ ගහකොළ ආපහු කොළ, කහ පාටවලින් වර්ණවත් වෙන එක. ඒක දියවෙන අයිස්ක‍්‍රීම් එකක් තරම් ආදරයෙන් බේරෙනවා. අපි බේරෙන ජීවිත අස්සේ අපිව ම හොයාගෙන යනවා. කැලැන්ඩරයෙ කොළ ඉවරවේගෙන ගියහම තවත් අවුරුද්දක මහා බලාපොරොත්තු ගොන්නක් ඉස්සරහ හරිම පුංචියට අපි බලාගෙන ඉන්නවා. ඒත් ඒ බලාපොරොත්තු කීයෙන් කීයක් ඉෂ්ට වෙනව ද අවුරුද්දක් අස්සෙදී. මං බොහොම සැහැල්ලූවෙන් හිතන්න ගත්තා. ඒත් එහෙම හිතන්න බැහැ. මොකද මගේ හීන කන්ද කැලැන්ඩරය ඉස්සරහ එහෙමම යි. අවාසනාවන්ත සිදුවීම් හා වාසනාවන්ත සිදුවීම් අතරෙ ජීවිතය දෝලනය වෙනවා. එතකොට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මගේ ප‍්‍රතිරූපය දිහා බලාගෙන ඉන්නවා. ඒ ඉන්නෙ මම නෙවෙයි. වම-දකුණ මාරුවුණ කෙනෙක්. මං ආපහු බිම වාඩිවෙනවා. මොකද ආපහු අද ඉඳන් අලූත් අවුරුද්දක් නිසා. ජයග‍්‍රහණ පස්සෙන් ම පරාජය ආපු ජීවිතයක්. හැමෝගෙ ම ජීවිතවල පවතින කාලකණ්ණි හිස්බව වහගන්න, එක එක දේවල් හොයන අවුරුද්දක්. ඒත් දියවෙන අයිස්ක‍්‍රීම් එක ආශාවෙන් කනව වගේම අස්ථිරතාවට ආදරය කරන්න පුරුදු වෙන්න වෙනවා. මොකද අවදානමක් ගන්න බය ජීවිතය ජීවිතයක් නෙවෙයි කියලයි මට හැමවෙලාවෙ ම හිතෙන්නෙ. මාත් එක්ක දුවන අශ්වයො දිහා වෙලාවකට නැවැතිලා බලන් ඉන්නවා. මං තවමත් විඳවනවා ඒ දැනුම පිළිබඳ හිස්බව තුළ. කෙනෙක් කොච්චර දැනුවත් විය යුතු දැයි කියන නිර්ණායකය මං ගාව නැහැ. නමුත් පළිඟුවක් වගේ හදවතක් කෙනෙක්ට තියෙනවනම් කොයිතරම් හොඳ ද? එහෙම වුණොත් ලෝකෙට කොයිතරම් ලස්සන ආදරවන්තයො බිහිවෙයි ද ? එතකොට ඇත්තට ම අපිට අපි ව හොයාගෙන යන්න පුළුවන් ගමන වේගවත් වෙයි. හැමවෙලාවෙ ම මට මාව අභියෝගයක් වෙන නිසා ඔළුව ඇතුළෙ දහසක් දේවල් වැඩකරන්න පටන් ගන්නවා. ඒවායින් කොයිතරම් සුළු ප‍්‍රමාණයක් ද ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නෙ. වෝල්ට් ඩිස්නි, ස්ටීවන් ස්පිල්බර්ග්, ජේ.කේ. රෝලින් වගේ හීන දකින එක අපිට කරන්න පුළුවන්. නමුත් එයාලා ඒක යථාර්ථයක් කරනවා. ෆැන්ටසිය යථාර්ථයට ගේන්න උම්මත්තක ස්වරූපයක් තිබිය යුතුයි කියලා මං හැමවෙලාවෙ ම හිතනවා. මොකද කාව්‍යොත්මක හැම සුන්දර මිනිසෙක් ළඟම පුදුමාකාර ආදරණීය බවක් තියෙනවා. හරියට අවුරුදු පහේ පොඩි එකෙක් සමනළයන් පස්සෙන් යනවා වගේ. අපි අපේ සියලූම හීන එක පෙට්ටියකට දාලා, වහලා ඒ පෙට්ටිය මත වෙනම ම සැලසුම් ගහනවා. ඒ යථාර්ථය ද මායාව ද කියන එක තේරුම්ගන්න බැරිව. අලූත් වෙන්න හොඳම කාලය ආවත්, ඒ පාට අපිට පේන්නෙ නැතිවෙනවා. ඒකට හේතුව තවමත් අපි දාගෙන ඉන්න කණ්ණාඩි අනුන්ගේ වීම හෝ ඒවා පාටපාට වීම. පියවි ඇසින් දේදුන්නක් දකින්න දුරුතු හීතලේ මම ගෝල්ෆේස් එකේ වාඩි වෙනවා. එහාට මෙහාට යන ගොඩක් ජීවිත අතර මගේ පෙම්වතිය හිරිකඩ අස්සේ තුරුළු වෙලා මගෙ කම්මුල ආදරණීය විදිහට බොහොම උණුසුම් ව ඉඹිනවා. ඈතින් මුළු කොළඹ ම පොඩියට පේන්නෙ. අහසේ පාටපාට සරුංගල් අතරින් මම මට ම සුබඅලූත් අවුරුද්දක් කියා ගන්නවා. ආයෙත් මගේ සිහින ලෝකෙට යන්න.

Monday, May 27, 2013

Aravind Adiga

ඇත්ත ජීවිතය පොතේ ජීවිතයට වඩා හාත්පසින්ම වෙනස්

අරවින්ද් අඩිගා යනු ජාත්‍යන්තර සාහිත්‍ය කරළියේ සම්භාවනාවට පත්වූ ඉන්දීය ලේඛකයෙකි. ඔහු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ ‘ද වයිට් ටයිගර්’ කෘතිය හරහායි. 2008 වර්ෂයේදී බුකර් සම්මානය දිනාගැනීමට ‘ද වයිට් ටයිගර්’ කෘතිය සමත්විය. බුකර් සම්මානය දිනාගත් හතරවැනි ඉන්දියානුවා බවට ඒ සමග අරවින්ද් අඩිගා පත්විය. ඔහුට පෙර මෙම සම්මානය දිනාගත්තේ සල්මන් රෂ්ඩි, අරුන්දතී රෝයි සහ කිරන් ඬේසායිය. මෙම සම්මානයත් සමග ලේඛකයකු වශයෙන් වඩාත් ස්ථාවර වීමට අරවින්ද් හට හැකිවිය.1974 ඔක්තෝබර් 23 වැනිදා චෙන්නායි නුවරදී උපත ලද අරවින්ද්ගේ ප‍්‍රධාන අභිප‍්‍රාය වූයේ ජනමාධ්‍යවේදියෙක් බවට පත්වීමයි. ‘කැනාරා උසස් පාසලෙන්’ සහ ‘ශාන්ත ඇලෝසියස්’ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබාගත්තේය. අනතුරුව ඔහු ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදියෙක් බවට පත්විය. මෙහිදී ඔහු ඩොනල්ඞ් ට‍්‍රම්ප් වැනි ඉහළ පෙළේ ධනවතුන් සමග සම්මුඛ සාකච්ඡුා පවත්වා සාර්ථක ලිපි පෙළක් රචනා කළේය. ඔහුගේ සාහිත්‍ය දැනීම හේතුවෙන් ‘ටයිම්ස්’ සඟරාව ඔහුගේ සේවය ලබාගත්තේය. ඒ අනුව ‘ටයිම්ස්’ සඟරාවේ දකුණු ආසියානු කලාපීය වාර්තාකරු බවට ඔහු පත්විය. වසර තුනක කාලයක් ජනමාධ්‍යවේදියෙක් වශයෙන් ටයිම්ස් සඟරාවට සේවය කළ ඔහු පසුව ඉන් ඉවත්ව නිදහස් ලේඛකයකු බවට පත්විය.2008 වර්ෂයේදී අරවින්ද් කෘති තුනක් රචනා කළේය. ඒ ‘ද වයිට් ටයිගර්’ නවකතාව, ‘බිට්වීන් ද ඇසසිනේෂන්ස්’ යන නවකතාය. තවද ‘ද සුන්තාන්ස් බැටරි’ ල*, ‘ස්මැක්’ ල ‘ලාස්ට් ක‍්‍රිස්ට්මස් ඉන් බන්ද්‍රා’ යන කෙටිකතා සංග‍්‍රහද ඔහු පළකරන ලදී. අනතුරුව 2011 වර්ෂයේදී ‘ලාස්ට් මෑන් ඉන් ටවර්: ෆෝර්ත් එස්ටේට්’ නවකතාවද 2009 වර්ෂයේදී ‘ද එලිෆන්ට්’ යන කෙටිකතා සංග‍්‍රහයද ලියා පළ කළේය.ඉන්දියාවෙන් පිට සාර්ථකත්වයට පත්වූ නවකතාකරුවන් කිහිපදෙනා අතරට අරවින්ද් අඩිගා අද වනවිට පත්ව ඇත. පහත පළවන්නේ ඔහු සමග කෙරුණු සංවාදයකි.

Q.ඔබ ජනමාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරලා, නවකතා රචකයෙක් බවට පත්වෙනවා. එම කටයුත්ත අතපසු වුණාද?

A.මම ‘ද වයිට් ටයිගර්’ නවකතාව ලියන්න පටන් ගත්තෙ 2005 වර්ෂයේදීයි. පොත එම වර්ෂයේ ලියා පළකරන්න මට හිතුණත් එය අසම්පූර්ණයි කියලා වරින්වර හිතුණා. ඒ නිසා නවකතාව සම්පූර්ණ කරලා පැත්තකින් තිබ්බා. නවකතාවක් කවදාවත් ලියන්නෙ නැහැ කියන මතයට මම ආවා. අවුරුදු ගාණකට පස්සෙ 2006 වර්ෂයේදී මම දිගු කාලයකට පස්සේ නැවත ඉන්දියාවට ආවහම යළිත් ‘ද වයිට් ටයිගර්’ කෘතිය ලියන්න පටන් ගත්තා. මේ සැරේ මම කළේ කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමයි. කතාව මුල ඉඳලා අගටම ආයිත් ලිව්වා. ඊළඟ මාසෙ පුරාම මං කරපු එකම කාර්යය වුණේ නවකතාව ලියන එකයි. 2007 ජනවාරි මාසෙ වෙනකොට නවකතාව ලියලා ඉවරකරන්න හැකියාව ලැබුණා.

Q‘ද වයිට් ටයිගර්’ කෘතියෙහි එන ‘බාල්රාම් හල්වායි’ කියන චරිතය ඔබ ගොඩනැගුවෙ යම්කිසි පුද්ගලයෙක්ගෙ ආභාසය සහිතවද?

A.බාල්රාම් හල්වායි කියන්නෙ එක චරිතයක් නෙවෙයි චරිත ගණනාවක්. මම එහෙම කියන්නෙ ‘බාල්රාම් හල්වායි’ චරිතය නිරමාණය කරන්න විවිධ පුද්ගලයන්ගෙ ලක්‍ෂණ උපයෝගී වුණ නිසා. මම ඉන්දියාව පුරා සිදුකළ සංචාරවලදී දැකපු බොහෝ දෙනෙක්ගෙ ලක්‍ෂණ ඒ චරිතය තුළට ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම මම දින ගණන් රස්තියාදු වෙමින් මට අවශ්‍ය අත්දැකීම් එකතු කරගන්න කටයුතු කළා. දුම්රිය ස්ථාන, බස් නැවතුම්පොළවල්, කම්කරුවන්ගේ නිවාස සහ මුඩුක්කුවල මම බොහෝ කාලයක් ගතකළා. ඒවා තමයි පසුකාලීනව සියලූම නවකතාවලට පාදක වන්නේ. එමෙන්ම මා වටා සිටින පුද්ගලයන් සමග බොහෝ දෑ කතාකිරීමට මම කටයුතු කරනවා. ඉන්දියාවේ මධ්‍යම පාන්තික ජනතාව තුළ කුමක් හෝ දෙයක් නිතරම සමාජගත කරන්නයි බලාගෙන ඉන්නේ. ඔවුන්ට සෑමවිටම කියන්න කතාවක් තියෙනවා. ඉතින් මම හැම වෙලාවෙම ඔවුන් සමග සහ සම්බන්ධ වෙන්නයි කල්පනා කරන්නෙ. බාල්රාම් පසුකාලීනව කතාකරන්න යන්නෙ ඔහුට ඇසුණ දේවල්.

Q ඔබේ මේ කතාව තුළ බොහෝ කරුණු ඉතා විස්තරාත්මකව දක්වනවා. විශේෂයෙන් ඉන්දියාවේ පොලීසිය තුළ පවතින ¥ෂණය පිළිබඳ, දේශපාලන ක‍්‍රමවේදයේ අයථා කි‍්‍රයාකාරීත්වය පිළිබඳ, දිල්ලියේ සේවකයන්ගේ පැවැත්මේ අර්බුද පිළිබඳ, බැංග්ලෝරයේ ව්‍යාපාරිකයන් පිළිබඳ, මේ සියල්ල රචනා කරන්න මොන ආකාරයේ සමීක්‍ෂණයක්ද සිදුකළේ?

A.මගේ නවකතාව යථාර්ථවාදී දෙයක් හැටියට මං සලකන්නේ නැහැ. එය ප‍්‍රබන්ධයක්. ප‍්‍රබන්ධයක් තුළදී හමුවන චරිත ඇත්ත නෙවෙයි. නමුත් ඒ තුළ ඉන්දීය සමාජයේ යථාර්ථය මනාව පිළිබිඹු කරනවා. මෙම නවකතාවේ බාල්රාම්ගේ තාත්තා මියයන්නෙ ක්ෂය රෝගයෙන්. මෙලෙස මෙම රෝගයෙන් දහස් ගණනක් ඉන්දියානුවන් දිනපතා මියයනවා. මෙලෙස මියයන බොහෝ ඉන්දියානුවන් අන්ත අසරණ දුප්පත් පිරිසක්. බාල්රාම්ගේ පියා රික්ෂෝ රථයක් පදවන කෙනෙක්. ඉතින් ඔහු නිරතුරුවම බාහිර පරිසරය හා ගැටෙනවා. මේ හේතුවෙන් ක්ෂය රෝගය උත්සන්නවී මියයාමට ඇති ඉඩකඩ ඉහළයි. මට කියන්න අවශ්‍ය වුණේ මෙලෙස මියයන්නන් බොහොමයක් දුප්පත් ඉන්දියානුවන් බව කීමටයි. මෙම නවකතාවේ එන රජයේ ආයතන, රජයේ රෝහල්, මත්පැන් අලෙවිකරනා ස්ථාන, ගණිකා නිවාස ආදී සියල්ල මම ඉන්දියාව තුළ කරන ලද සංචාරවලදී ඇස් දෙකෙන්ම දැකපු ඒවා.

Q. ඔබ නවකතාව තුළදී හරි අපූරු කාරණයක් මතුකරනවා. ඒ තමයි ඉන්දියාව තුළ පවතින කුල ක‍්‍රමය ඉවත්වී මේ වනවිට දුප්පත් සහ පොහොසත් භේදය හටගෙන තිබෙන බව. එහිදී ඔබ ‘විශාල බඩවල් සහ කුඩා බඩවල්’ කියන අන්වර්ථ වචන භාවිත කරනවා?

A.පසුගිය වසර පනහක කාලයේදී ඉන්දියාව විශාල වෙනසකට භාජනය වෙලා තියෙනවා. බොහෝ දේවල් වෙනස් වෙලා තියෙන්නෙ වඩාත් සුබදායී ආකාරයටයි. ඔබ පැවසුවා වගේ මේ වනවිට පැවති සාම්ප‍්‍රදායික කුලධූරාවලිය ඉවත්ව තිබෙනවා. ඒ වෙනුවට තම දැනුම හා කුසලතා මත සමාජයේ ඉදිරියට පැමිණි පිරිස් ස්ථාවරභාවයට පත්වෙලා. අද වනවිට මෙම ඉදිරියට පැමිණි පිරිස සහ එම ස්ථානයට පැමිණීමට නොහැකි වූ පිරිස් අතර පරතරයක් නිර්මාණයවී තිබෙනවා. ඒ වගේම පැරණි සාධු සම්මත යැයි සැලකුණු සමාජ ක‍්‍රමය බිඳවැටීමත් සමග සමහර පිරිස් වෙත යම් අනාරක්‍ෂිත සහ අස්ථාවරභාවයක් ඇතිව තිබෙනවා. මෙතැනදී වඩාත් අර්බුදයට ලක්වී තිබෙන්නේ බහුතර ඉන්දීය දුප්පත් ජනතාවයි. ඔවුන්ට සිතාගන්න බැහැ තම සංස්කෘතිය සමග ඉදිරියට යනවාද, එසේ නොමැතිනම් පැරණි සංස්කෘතියේම සිටිනවාද කියා. හැබැයි මම හැමදාම හිතන දෙයක් තමයි මෙම නවකතාව කියවන්න  ඕන කෙනෙක් පෙළඹෙන්නෙ කතාව තුළ ඇති ආශ්වාදජනක බව නිසයි. මොකද  ඕනෑම කෙනෙක්ව ඇදබැඳ තබාගන්න එකක් තමයි ඒකෙන් සිදුවෙන්නෙ. මම වුණත් නවකතාවක් හෝ  ඕනෑම කෘතියක් කියවන්නෙ කියවීමට අත්‍යවශ්‍ය නිසා නොවෙයි. ඒ තුළ රසවත් කරුණු ඇතුළත්වන නිසා. මම මේ කතාව තුළ ඇත්තටම ඉන්දියාව කියන දේ ලිව්වා. ඒකයි මේ තරම්ම රසවත් වෙන්න හේතු වුණේ.

Q. ඔබට ජනමාධ්‍යවේදියෙක් වශයෙන් ලැබුණු අත්දැකීම් නවකතාව රචනයේදී සුළුවෙන් හෝ උපකාර වුණේ නැද්ද?

A.මම ව්‍යාපාරික ජනමාධ්‍යවේදියෙක් වශයෙන් ලියන ලද සියල්ල වැඩකට නැති බේගල් වශයෙන් අද දකින්නෙ. මම වෘත්තීය වශයෙන් ජනමාධ්‍යවේදියෙක් වුණත්, ව්‍යාපාර හෝ ඒ හා සම්බන්ධ කාරණා සාහිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. ඔබට ඉන්දියාවේදී සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට අවශ්‍ය කරුණු ඇතුළත් කෘති රැුසක් මිලදී ගන්න පුළුවන්. නමුත් ඒවා කියවීම තුළින් සිදුවන එකම දේ වන්නේ ඔබම අතෘප්තියට පත්වීමයි. මෙම පොත් මගේ නවකතාවේ චරිතය වගෙයි. මම එහෙම කියන්නේ ඇත්ත ජීවිතය පොත් තුළ අන්තර්ගත කරුණුවලට වඩා හාත්පසින්ම වෙනස්. ඔබට කෘතියක් තුළින් මෙහෙම කරන්න, මෙහෙම කරන්න එපා කියලා උපදෙස් දෙන්න පුළුවන්. නමුත් හැබෑ ජීවිතයේදී එම කරුණු කොයිතරම් ආදේශ කරන්න හැදුවත් ඔබ අසාර්ථක වෙනවා. ඊට හේතුව වන්නේ යථාර්ථය අපි හිතන තරම් සුන්දර නැතිවීම. ඉන්දියාව තුළ මේ වනවිට කෝටිපතියන්
රැසක් ඉන්නවා. ඔවුන් විශාල වෙහෙස මහන්සියක්, උත්සහයක් සමගයි ඉහළට පැමිණිලා තියෙන්නෙ. නමුත් බොහෝ ඉන්දියානුවො උත්සහ කරන්නෙ එක රැයෙන් කෝටිපතියෙක් වෙන්න.

Q. ඔබේ නවකතාව පිළිබඳ ඉන්දීය සමාජයේ ධනාත්මක පිළිගැනීමක් ලැබුණාද? අන්නා හසාරේ ගෙන ගියේ ඔබේ නවකතාව තුළ පවතිනවා සේම පවතින, සමාජ, දේශපාලනයට එරෙහිව අරගලයක්. ඔබේ කෘතිවලට මෙම සමාජ සංශෝධන ක‍්‍රියාවලියේ යෙදුණා කියලා පැසසුම් ලැබුණාද?

A.ඇත්තෙන්ම නැහැ. අන්නා හසාරේගේ ක‍්‍රියාවලිය අපිට ලඝුකරන්න බැහැ. මොකද ඒක කෘතියක පවතින කල්පිතයන් සමග මුසුවුණ කාරණයක් නෙවෙයි. ඔහු කළේ දේශපාලනයට අභියෝග කිරීමයි. මගේ අරමුණ සමාජ සංශෝධනයට අදාළ කාරණා රචනා කිරීම නෙවෙයි.මට අවශ්‍ය වුණේ අදාළ කාරණා පමණක් රචනා කිරීමයි. ඒකෙදී හැකිතාක් දුරට සාහිත්‍යමය කරුණු ගෙනහැර දක්වන්න මට අවශ්‍ය වුණා. නමුත් හැමවිටම මගේ අරමුණ ප‍්‍රත්‍යක්‍ෂකොට දක්වන්න වුවමනා වුණා. ¥ෂණයට එරෙහිව ක‍්‍රියාකරන  ඕනෑම කෙනෙක් පිළිබඳ මට තියෙන්නෙ සුබවාදී හැඟීමක්. නමුත් ඒකෙන් දේශපාලන මතවාදය එළියට ගන්න මම උත්සහ කරන්නේ නැහැ. සාහිත්‍යවේදියෙක් වශයෙන් මගේ අරමුණ වන්නේ සමාජ, දේශපාලන කාරණා යම් නාට්‍යානුසාරී ක‍්‍රමවේදයක් ඔස්සේ රචනා කිරීමටයි. හැබැයි කොයිම මොහොතකදී වත් සිදුවන්නේ කුමක්ද? එය සිදුවීමට බලපාන හේතුව කුමක්ද යන්න පැහැදලි කරන්නේ නැහැ.