Friday, March 1, 2013

85 වැනි ඔස්කාර් රාත‍්‍රිය

                    ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඩොල්වී ශාලාව පසුගිය ඉරිදා සුපිරු තරුවලින් පිරීගියේ ලෝක සිනමා වංශකතාවේ තරු රැසක් පායා තිබුණු නිසයි. මේ තරු පෑයුවේ අන් කාරණයක් නිසා නොව 85 වැනි ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේ ප‍්‍රහර්ෂය විඳගනු පිණිසයි.අසූපස්වන ඔස්කාර් සම්මාන උළෙලේදී බොහෝ දෙනාගේ විමතියට පත්වන කරුණු කාරණාත් සිදුවුණා. මිචෙල් ඔබාමා සහ සුපිරි නළු ජැක් නිකොල්සන් ධවල මන්දිරයේ සිට හොඳම සිනමාපටය සඳහා හිමි නාමලේඛනය ඉදිරිපත් කිරීම වගේම බෙන් ඇෆ්ලෙක් සමනිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ ‘ආර්ගෝ’ සිනමාපටය හොඳම සිනමාපටයට නිර්දේශ වුණත් හොඳම අධ්‍යක්ෂණයට නාමයෝජනා නොවීම ඒ අතරින් සුවිශේෂී වුණා.
  අසූ පස්වන ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙල මෙහෙයවීමේ ගෞරවනීය අවස්ථාව හිමිව තිබුණේ ‘මැක් ෆර්ලේන්’  හටයි. ඔහු කුල්මත් කරමින් තම මෙහෙයවීම ඉතා කදිමව ඉටු කළා.මෙවර වැඩි ගෞරවයක් දිනාගැනීමට සමත් වූ සිනමාපට තුනක් වූවා. ඒවා නම් ‘ඈන්ග් ලී’  අධ්‍යක්ෂණය කළ ‘ලයිෆ් ඔෆ් පයි’  බෙන් ඇස්ලෙක් අධ්‍යක්ෂණය කළ ‘ආර්ගෝ’ සහ ‘ලා මිසරාබ්ලේ’ සිනමා කෘතිනුයි. ‘ලයිෆ් ඔෆ් පයි’ සිනමා කෘතිය වෙනුවෙන් ඈන්ග් ලී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණා. ඊට අමතරව හොඳම කැමරාකරණයට සහ හොඳම සංගීතයට හිමි සම්මානද මෙම සිනමාපටය දිනාගත්තා. උළෙලේ වැඩිම සම්මාන ගණනක් වූ හතරක් දිනාගැනීමට සමත්වූයේ ‘ලයිෆ් ඔෆ් පයි’ සිනමාපටයයි. ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙලේ වැඩිම ගෞරවය හිමි හොඳම සිනමාපටයට හිමි සම්මානය ‘ආර්ගෝ’ දිනාගත්තා. ආර්ගෝ නිෂ්පාදනය කළ ‘වෙන් ඇෆ්ලෙක්, ජෙර්ස් ක්ලූනි සහ ග‍්‍රාන්ට් හෙස්ලොච් තම සම්මානය ගැනීමට ඔස්කාර් වේදිකාවට ආවා. මෙහිදී වෙන් ඇෆ්ලෙක් තම ජීවිතයේ නැගීම් සහ බැසීම් පිළිබඳ හැඟීම්බර වුණා. 
                                         ‘මම කවදාවත් හිතුවෙ නැහැ මෙතැනට ආපහු එන්න ලැබෙයි කියලා. මේ ශාලාවේ සිටින බොහෝදෙනා මට මේ ගමනේදී උදව් කළා’ බෙන් ඇෆ්ලෙක් මෙහිදී ස්ටීවන් ස්පිල්බර්ග්ටත් තම ස්තුතිය පිරිනැමුවා. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත් පසු ‘ඈනග් ලී’ සිනමාවේ දෙවියන්ට තම කෘතඥතාව පිරිනැමුවා. ඔස්කාර් ඉතිහාසයේ තම නම රනින් සටහන් කරමින් රන් ආලේපිත සම්මානය තෙවැනි වරට ලබාගැනීමට ‘ඩැනියෙල් ඬේ ලූවිස්’ සමත්වුණා.  ඔස්කාර් සම්මාන ඉතිහාසයේ තෙවරක් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් එකම නළුවා වශයෙන් ඩැනියල් ඬේ ලූවිස් හඳුන්වන්න පුළුවන්. ඔහු තම කතාවේදී මෙරිල් ස්ටී‍්‍රජව සිහිකළා. ඇය ගිය වසරේ ‘අයන් ලේඩි’ සිනමාපටයේ ‘මාග‍්‍රට් තැචර්ගේ’ චරිතය නිරූපණය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්තා. ‘ඩැනියල් ඬේ ලූවිස්’ මෙවර හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්ෂණය කළ ‘ලින්කන්’ සිනමාපටයේ ‘ඒබ‍්‍රහම් ලින්කන්ගේ’ චරිත නිරූපණය වෙනුවෙන්. හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් විසි දෙහැවිරිදි ‘ජෙනිෆර් ලෝරන්ස්’ වේදිකාවට නගිද්දී පය ලිස්සා වැටීමටද ගියා. ඇය ‘සිල්වර් ලයිනින්ග්ස් ප්ලේබුක්’ හි වැන්දඹුවකගේ චරිතය නිරූපණය කළා. හොඳම සහය නිළිය ලෙස ‘ලා මිසරාබ්ලේ’ හි චරිත නිරූපණය කළ ඈන් හාතවේ සම්මාන දිනාගත් අතර හොඳම සහය නළුවා ලෙස ‘ජන්ගෝ අන්චේන්ඞ්’ සිනමාපටයේ රංගනයට කි‍්‍රස්ටෝපර් වෝල්ට්ස් සම්මාන දිනාගත්තා. අතිඋත්කර්ෂවත්ව පැවති ඔස්කාර් රාත‍්‍රිය බොහෝ දෙනකුට මතකයක් පමණක් ඉතිරි කරමින් අවසන් වුණා.

‘විශ්වරූපම්’ දැන් හරිද?                                            

                                       ‘විශ්වරූපම්’  සිනමාපටය පිළිබඳ අපි මුලින්ම ඔබ දැනුවත් කළේ සිනමාපටයේ පූර්ව ප‍්‍රචාර කටයුතු ආරම්භ වෙද්දීමයි. සිනමාපටය තිරගත වීමටත් කලින් විශ්වරූපම් ලොව පුරා පුවත් මවන සිනමාපටයක් බවට පත්වුණා. විශේෂයෙන්ම මේ සිනමා කෘතියේ ඇතුළත් දර්ශන 15ක් ඉවත් කරගන්නා ලෙසට මුස්ලිම් සංවිධාන රැසකින් මතු වූ විරෝධතා නිසා චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ කමල හසන්ට පවා දැඩි අසීරුතාවකට පත්වීමට සිදුවුණා. කමල හසන් කියන්නේ කවුද කියලා අපේ රටේ කොලිවුඞ් සිනමා රසිකයන්ට අමුතුවෙන් කිවයුතු නැහැ.
ඔහු ‘විශ්වරූපම්’ සිනමාපටයට කලින් අධ්‍යක්‍ෂණය කළ ‘මන් මදන් අම්බු’  ලොව පුරා සාර්ථකව තිරගත වුණා. මේ නිසා නැවත වරක් ජාත්‍යන්තර මට්ටමේ සිනමා නිර්මාණයක් සමග පේ‍්‍රක්‍ෂකයන් හමුවට පැමිණීමට කමල හසන් පියවර ගත්තත් ‘විශ්වරූපම්’ තිරගත කිරීමටත් පෙර ඉන්දීය මුස්ලිම් සංවිධාන එහි ඇතැම් දර්ශන පිළිබඳ සිය විරෝධතා ගොනුකරමින් නඩු මඟට පිවිසියා. මෙහි අවසන් ප‍්‍රතිඵලය වූයේ ‘විශ්වරූපම්’ සිනමාපටය දමිළ ජනතාව වැඩි වශයෙන් සිටිනා තමිල්නාඩු ප‍්‍රාන්තයේවත් ‘විශ්වරූපම්’ ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි වීමයි. කොහොම වුණත් දර්ශන පහක් හඬ නැති කරමින් ඒ කියන්නේ මුස්ලිම් සංවිධානවල ඉල්ලීම්වලින් කොටසක් ලබාදෙමින් ‘විශ්වරූපම්’ ප‍්‍රදර්ශනය කිරීම ඇරඹුණත් මේ හේතුවෙන් කමල හසන් හට ඉන්දීය රුපියල් කෝටි 30-60 අතර මුදලක් අහිමි වනු ඇති බවට විචාරකයන් පෙන්වා දෙනවා.
 අනෙක් පසින් ‘විශ්වරූපම්’ ලංකාවේ සහ මැලේසියාවේ ප‍්‍රදර්ශනය තහනම් කිරීමට පියවර ගත්තේ මුස්ලිම් ජාතිකයන්ගේ ගැටලූව නිසාමයි. නමුත් ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලයේ අධීක්‍ෂණයෙන් සහ සංස්කෘතික අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මුස්ලිම් ජාතිකයන්ට අපහාස වන දර්ශන ඉවත් කිරීමෙන් අනතුරුව ‘විශ්වරූපම්’ මෙරට ප‍්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒත් සමග ලංකා ‘උලමා’ සංවිධානය පවසන්නේ මෙය ලංකාවේ ප‍්‍රදර්ශනය කිරීමත් සමග ජාතීන් අතර අසමගිය නිර්මාණය විය හැකි බවයි.
කෙසේ හෝ වේවා මේ වනවිට මෙම මතභේදතා මධ්‍යයේ ‘විශ්වරූපම්’ වෙත ඉහළම ප‍්‍රසිද්ධියක් ලැබී තිබෙනවා. එය එහි අධ්‍යක්‍ෂ, තිර රචක සහ සමනිෂ්පාදක කමල හසන්ගේ සතුටට කාරණයක් වෙනවාට සැක නැහැ. විශ්වරූපම්හි කමල හසන්ට අමතරව පූජා කුමාරි, රාහුල් බෝන්, ඇන්ඩෙ‍්‍රයා ජෙරමියා සහ ජගිනීස් අහිලම්ට් රඟපානවා.
විශ්වරූපම් සිනමාපටය හරහා නැගෙන කලාව-කලාව උදෙසාද එසේත් නැත්නම් මිනිසා උදෙසාද කියන ගැටලූව මේ මොහොත වෙද්දීත් පැන නැගී අවසන්. මොකද ආගම්වාදී අන්තගාමී නොවී මැදිහත් සිතින් කලා කෘතියක් නිපදවීමට මෙන්ම රසවිඳීමටද අවකාශයක් අප සෑම දෙනාටම තිබෙනවා. හොලිවුඞ් සිනමාපටයක මුස්ලිම් ආගමට අගරු වන දෑ පවතිද්දී ඒවා නරඹන මුස්ලිම් සංවිධාන දමිළ සිනමාපටවලට පමණක් කෑගසන්නේ ඇයිද යන්නත් සොයා බැලිය යුතු වෙනවා.