Thursday, January 31, 2013

බිලී වයිල්ඩර්ගේ නොනවතින සිනමාව

රක්‍ෂණ සමාගමක සාමාන්‍ය සේවකයකු ලෙස සේවය කරනා තරුණයෙක් විධායක ශ්‍රේණියකට යෑමේ අවශ්‍යතාව පදනම් කරගෙන තමන්ට ඉහළ සිටින නිලධාරින්ට උදව් කිරීම ආරම්භ කරයි. ඉහළ නිලධාරින්ට අල්ලස් වශයෙන් මෙම තරුණයාට ලබාදීමට සිදුවන්නේ ඔහු නැවතී සිටින නිවසේ කාමරයයි. ඒ ඉහළ නිලධාරින්ට තම රහස් පෙම්වතියන් රැුගෙන ගොස් ආදරය කිරීමට ඉඩකඩ සලසා දෙමිනි. මේ ඔස්සේ ඉහළ නිලධාරින්ගේ සිත් දිනාගන්නා මෙම තරුණයාට තම විධායක නිලධාරින්ගේ සහය ලැබෙන අතර ඔහුට උසස්වීමක් ලැබෙයි. නමුත් මෙම තත්ත්වය කාර්යාලයේ එක් තරුණියක් නිසා වෙනස් වෙයි. ‘ද එපාර්ට්මන්ට්’ සිනමාපටයේ අන්තර්ගතය වන්නේ ඉහත කී කතාන්දරයයි. ‘ද එපාර්ට්මන්ට්’ සිනමාපටය ‘බිලී වයිල්ඩර්’ අධ්‍යක්‍ෂණයෙන් තිරගත වන ඔහුගේ හොඳම සිනමා නිර්මාණවලින් එකකි. මෙහි සුවිශේෂීත්වය කොතරම්ද යත් 1960 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට, හොඳම අධ්‍යක්‍ෂණයට, හොඳම තිරරචනයට හිමි සම්මාන දිනාගැනීමට සමත් විය.
                 1945දී බිලී වයිල්ඩර් අධ්‍යක්‍ෂණයකට ‘ද ලොස්ට් වීක්එන්ඞ්’  සිනමාපටය උදෙසා හොඳම අධ්‍යක්‍ෂණයට සහ හොඳම තිර රචනයට හිමි සම්මාන දිනාගැනීමෙන් අනතුරුව බිලී වයිල්ඩර් ලබාගත් ඉහළම ජයග‍්‍රහණය වශයෙන් මෙය සැලකෙයි.බිලී වයිල්ඩර් යනු හොලිවුඞ් සිනමාවට බිහිවූ අතිදක්‍ෂ අධ්‍යක්‍ෂවරයෙකි. වයිල්ඩර්ගේ පැවති සුවිශේෂීත්වය වූයේ සරල කතාන්දර ගෙන ඒවා තුළට ජීවය කවා ඉතාම අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි. විශේෂයෙන් ඔහුගේ සිනමා නිර්මාණ තුළ පැවතියේ සෝපාහාසය මුසු කතා රටාවකි. අනෙකුත් සිනමාපට තුළ අතිවිශාල පසුතළ, විශාල නළුනිළි පිරිස් මෙන්ම රූගත කිරීමේදී ඉතා විශාල භූ දර්ශන ඇතුළත් කිරීම 1940 ගණන්වල සිට නිරතුරුව දක්නට ලැබුණි. නමුත් බිලී වයිල්ඩර් තම සිනමා නිර්මාණ තුළට ඇතුළු කළේ නාටකේය අවස්ථායි. මෙම නාටකේය අවස්ථා උච්ච බවට පත්කිරීමට නළු නිළියන් අතැඹුලක් සේ යොදාගැනීමට බිලී වයිල්ඩර් සමත් විය. මෙම සුවිශේෂීත්වය හේතුවෙන් බිලී වයිල්ඩර් ඔස්කාර් සම්මාන හතකින් සිය ජීවිත කාලය තුළ පිදුම් ලැබුවේය. එමෙන්ම විසිහතර වරක් ඔහු ඔස්කාර් සම්මාන සඳහා යෝජනා විය. හොඳම තිරපිටපත් රචනය වෙනුවෙන් දොළොස් වරක් නාම යෝජනා වූ අතර ඔහු දෙවැනි වූයේ වූඩි ඇලන් හට පමණි. එමෙන්ම හොඳම අධ්‍යක්‍ෂවරයා වශයෙන් හත්වරක් නාම යෝජනා වූ අතර ඔහු එම අංශයෙන් දෙවැනි වූයේ විලියම් වයිලර්ට පමණි.

1906 ජුනි 22දා ඔස්ටි‍්‍රයාවේ යුදෙව් පවුලක උපත ලද වයිල්ඩර් වයස අවුරුදු දාහතරේ සිට තිරපිටපත් රචනා කිරීම සඳහා පිවිසියේය. නමුත් දෙවැනි ලෝක යුද්ධය ආරම්භයත් සමග වයිල්ඩර්ගේ ජීවිතය වෙනස් විය. ඔහුත් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ විලියම් ලී වයිල්ඩර්ත් තම මවුබිම හැරදා ඔස්ටි‍්‍රයාව බලා පලාගියේ නාසි පාලනයේ දැඩි බලපෑම් ඇතිවීම හේතුවෙනි. ඔස්ටි‍්‍රයාවේ සිටියදී වයිල්ඩර් තම ප‍්‍රථම සිනමා තිර රචනය සිදුකරන්නේය. ඔහු එරික් කර්ට්ගේ  නවකතාවක් ආශ‍්‍රය කරගෙන ‘එමිල් ඇන්ඞ් ද ඩෙටික්ටිව්ස්’  රචනා කරයි. හිට්ලර්ගේ මතුවීමත් සමග 1931දී ප‍්‍රංශය බලාගිය වයිල්ඩර් එහිදී තම ප‍්‍රථම වෘත්තාන්ත සිනමාපටය අධ්‍යක්‍ෂණය කරන්නේය. ‘මවයිස් ගේ‍්‍රන්’  ලෙස නම්කරන එය සාර්ථකත්වයට පත්විය. මෙම සිනමාපටය තිරගතවන සමයේදී බිලී වයිල්ඩර් ඇමෙරිකාවට සංක‍්‍රමණය විය.
ඇමෙරිකාවේදී ඔහු වර්ෂ ගණනාවක් තිරපිටපත් රචකයෙක් ලෙස ක‍්‍රියා කරයි. ඉංග‍්‍රීසි හරියට කතාකිරීමට නොහැකි නිසා සහ මාස හයක වීසා බලපත‍්‍රයක් යටතේ පමණක් ඇමෙරිකාවට පැමිණි නිසා වයිල්ඩර්ට දැඩි ආතතියක් ඇතිවෙයි. සිනමාවට ඇති ආදරය නිසාම විශාල පරිශ‍්‍රමයකින් අනතුරුව හොලිවුඞ්හි තිරකතා රචකයෙක් වශයෙන් ස්ථාවරත්වයට පත්වෙයි. 1939දී තිරගත කෙරුණු ‘නිනොච්කා’ ඔහුගේ සාර්ථකත්වය වඩාත් පෙන්නුම් කළ සිනමාපටයක් විය.
‘නිනොච්කා’ එම වසරේ හොඳම තිරපිටපත වෙනුවෙන් ඔස්කාර් සම්මානය සඳහා යෝජනා විය. මෙම සාර්ථකත්වයත් සමග වයිල්ඩර් ‘බ්ලූබර්ඞ්ස් එයිට් වයිෆ්’, මිඞ්නයිට්  යන සිනමා කෘති රචනා කළේය.
අධ්‍යක්ෂවරයෙක් වශයෙන් බිලී වයිල්ඩර් පේ‍්‍රක්ෂක විචාරක සම්මානයට පාත‍්‍ර වන්නේ ‘බෝල් ඔෆ් ෆයර්’  සිනමා කෘතිය හරහායි. ඔහුගේ ‘ද ලොස්ට් වීක්එන්ඞ්’ 1945 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට සහ තිර රචනයට හිමි සම්මාන දිනා ගත්තේය. එහි කතා හරය බවට පත් වූයේ අධික ලෙස මත්වතුරට ඇබ්බැහි වූ, නවකතාකරුවෙක් වීමට උත්සහ කරන මැදිවියේ පුද්ගලයෙක් පිළිබඳයි. මැරලීන් මොන්රෝ සහ ජැක් ලෙමන්ගේ රංගනයෙන් වර්ණවත් වූ ‘සම් ලයික් ඉට් හොට්’ අදටත් හොඳම හාස්‍යෝත්පාදක සිනමා කෘති අතර ඉහළින්ම වැජඹෙයි. මෙහි තරුණයන් දෙදෙනක් තම ආරක්ෂාවට සහ රැුකියාව පරමාර්ථය කරගනිමින් තරුණියන් දෙදෙනෙක් වශයෙන් වෙස්වලාගෙන කාන්තා වාදක මණ්ඩලයකට බැඳෙයි. මෙය 1959 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට සහ තිරපිටපත නාම යෝජනා විය. බිලී වයිල්ඩර්ගේ ‘ද එපාර්ට්මන්ට්’, ‘ද ෆ‍්‍රන්ට් පේජ්’  ‘ද ෆෝචූන් කුකී’ අදටත් ඔහුගේ විශිෂ්ට සිනමා කෘති වශයෙන් සලකයි.
වසර පනහකට ආසන්න කාලයකදී අධ්‍යක්ෂණයෙන් තිරපිටපත් රචනයෙන් සහ නිෂ්පාදනයෙන් බිලී වයිල්ඩර් සිනමා කෘති හැටකට අධික ප‍්‍රමාණයකට දායක වෙයි. නමුත් බිලී වයිල්ඩර්ගේ දිවියෙහි අවසන් කාලයේ නිර්මාණය කරන සිනමා කෘති 1944 සිට 1987 දක්වා කාලයේ නිර්මාණය කරන සිනමාපට තරම් සාර්ථක වන්නේ නැත. බිලී වයිඩර් 2002 මාර්තු 27 වැනිදා වයස අවුරුදු අනූහයේදී මෙලොවින් සමු ගත්තේය. ඔහු පුරාවෘත්තයක් තරමටම හොලිවුඞ් සිනමාවේ නමක් තැබූ නිර්මාණ ශිල්පියෙක් විය.
ගිය වසරේ හොඳම සිනමා නිර්මාණ සඳහා ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලද පසු ‘ද ආර්ටිස්ට්’හි  අධ්‍යක්ෂ මයිකල් හැසනවිකිස් මෙසේ පැවසීය. ‘මම මේ සම්මානය ලැබීම සම්බන්ධයෙන් තුන් දෙනකුට ස්තුතිවන්ත විය යුතුයි. එක බිලී වයිල්ඩර් හට, දෙක බිලී වයිල්ඩර් හට, තුන බිලි වයිලර් හට’ මේ අනුව පෙනී යන්නේ ජීවතුන් අතර සිටියදී හෝ නොමැතිව බිලී වයිල්ඩර්ගේ සිනමා භාවිතය සුවහසක් සිනමා නිර්මාපකයන්ට ප‍්‍රබලව බලපා ඇති බවයි.

Friday, January 18, 2013

හොලිවුඞ් සිනමාවේ ඉතාලියානු සම්භවය

‘මගේ සිනමා නිර්මාණ සඳහා චරිත තෝරා ගැනීම සිදු කළේ ඇමෙරිකානු බටහිර  සිනමා නිර්මාණ තුළින්. නිව් ඔර්ලන්ස් පළාතෙන් ආපු ගණිකාවක්, අසුන්පිට යන මංකොල්ලකරුවන් පිරිසක්, පොහොසත් ව්‍යාපාරිකයෙක් සහ මේ සියල්ල පිටුපස සිටිනා වීරයෙක් යන චරිත සියල්ල ඇමෙරිකානු සිනමා ආභාසය සහිතව නිර්මාණය කළ ඒවායි. මේ සියලූ චරිත එක් කතාන්දරයකට ගොනුකරගෙන ඉන් අනතුරුව මරණය තෙක් නර්තනයක් ඇරඹීමයි මගේ කාර්යය බවට පත්වුණේ. එය ඇතැම්විට මගේ ඉතාලියානු සම්භවය අතික‍්‍රමණය කළා’
සර්ජියෝ ලියෝනි නම් විශිෂ්ට අධ්‍යක්ෂවරයා වරක් තම සිනමා නිර්මාණ තුළ ඇති ශක්‍යතාවන් පිළිබඳ කථිකාවකදී පැවසීය.
                      හොලිවුඞ් සිනමා වංශකතාවේ පතාක යෝධයකු බවට පත්වීමට සර්ජියෝ ලියෝනිට හැකි වුවත් ඇතැම් අවස්ථාවකදී විචාරකයන් නිර්දය ලෙස ඔහුව විවේචනය කළේ ‘ස්පැගටි වෙස්ටර්න්’ අධ්‍යක්ෂවරයෙක් පමණක් බව පවසමිනි. ‘ස්පැගටි වෙස්ටර්න්’ යනුවෙන් හොලිවුඩයේ ෂොනරයක් නිර්මාණය වන්නේ ඉතාලි අධ්‍යක්ෂවරු නිසාය. හැටේ දශකයේදී සර්ජියෝ ලියෝනි අධ්‍යක්ෂවරයෙක් වශයෙන් මූලිකත්වය ගන්නා මෙම ෂොනරය යටතේ 1980 වනවිට හොලිවුඩයේ සිනමා කෘති 600කට අධික ප‍්‍රමාණයක් නිර්මාණය වී තිබුණි. ඉතාලි අධ්‍යක්ෂවරු සහ යුරෝපීය රටවල සම නිෂ්පාදකයන් බොහෝ අවස්ථාවලදී මෙම නිර්මාණවලට දායකවීම නිසා ‘ඉතාලෝ -වෙස්ටර්න්’
නමින්ද මේවා හැඳින්විණි. කෙසේ වෙතත් මෙම නිර්මාණ අතරින් පෙර ගමන් කළ නිර්මාණ හා වඩාත් ප‍්‍රචලිත නිර්මාණ බවට පත්වූයේ සර්ජියෝ ලියෝනි අධ්‍යක්ෂණය කළ සිනමාපටයි. ‘ඩොලර් ති‍්‍රත්වය’ නමින් හැඳින්වුණු ‘අ ෆිස්ට්ෆුල් ඔෆ් ඩොලර්ස්’  ‘ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝර්’ සහ ‘ද ගුඞ්, ද බෑඞ් ඇන්ඞ් ද අග්ලි‘  යන සිනමා නිර්මාණ වඩාත් කැපී පෙනුණි. එමෙන්ම සර්ජියෝ ලියෝනිගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකෙන ‘වන්ස් එපොන් අ ටයිම් ඉන් ද වෙස්ට්’  සිනමා නිර්මාණය අතිශය ජනප‍්‍රිය වූ අතර මෙම නිර්මාණ සමග නව ආකෘතියක් ඇතිවිය.
                                                        මේ ආකාරයෙන් වූ සර්ජියෝ ලියෝනිගේ සාර්ථකත්වය දශක දෙකහමාරක කාලයක් පැවැතුණි. මෙම කාලවකවානුව තුළ ඔහු සිනමා නිර්මාණ නවයක් නිර්මාණය කළේය. මෙම නිර්මාණ නවයේ සාර්ථකත්වය පිටුපස සිනමාපටයට යොදාගත් සංගීතය බෙහෙවින් බලපෑවේය. ඔහු තම සංගීතඥයා වශයෙන් යොදා ගත්තේ ‘ඉනි ඕ මොරොක්කෝනි’ වය. ඉනි ඕ සහ සර්ජියෝ ලියෝනිගේ ඒකාත්මික වීම සිනමා සංගීතයේ පෙරළියක් ඇති කළේය. ඉනි ඕ ද, සර්ජියෝ මෙන්ම ඉතාලි ජාතිකයෙකි. එසේම මොවුන් පාසල් සමයේ සිට මිතුරන් වූ අතර සිනමා නිර්මාණ සඳහා සංගීතය නිර්මාණය කිරීමේදී මිත‍්‍රත්වයේ අවබෝධය බෙහෙවින් ඉවහල් වන්නට ඇත. ඔවුන් දෙදෙනාගේ සංකලනයෙන් අතිශය ජනප‍්‍රියවූ ‘ඩොලර් ති‍්‍රත්වයෙහි’ සංගීතය පිළිබඳ අද වනවිට සිනමා පාසල් තුළ අධ්‍යයනයටද ගෙන තිබේ. ඊට හේතුව වනුයේ සර්ජියෝ ලියෝනිගේ ‘කව්බෝයි’ සිනමාපට තුළ ඇතුළත් රූපරාමුවල ශක්‍යතාව වර්ධනය කිරීම ඉනි ඕගේ සංගීතයට හැකිවීමයි.
                                           සර්ජියෝ ලියෝනිගේ සිනමා සම්ප‍්‍රදාය බවට පත්ව තිබුණේ දෙබස් අඩු සිනමාවකි. මෙම ‘කව්බෝයි’ සිනමාපට සඳහා පාදක වූයේ ඉතා දුෂ්කර ශුෂ්ක ප‍්‍රදේශවල පිහිටි ගම්මානයි. මෙම ගම්මානවල පිහිටීම මත කිසිදු ආකාරයකට ඒවායේ යහපත් වැඩ සිදු වන්නට නොහැකිය. නගරය හා ඔවුන්ගේ ලෝකය බොහෝවිට යවන්නේ දුම්රිය මඟින් පමණක්මය. මෙම දුම්රියද ඇතැම් අවස්ථාවලදී අසුපිට නැගුණු මංකොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට නතුවෙයි. මෙම මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති අතර ඔවුන්ගේ රූපද ප‍්‍රසිද්ධ කර තිබේ. පවතින නීතිය හෝ ෂෙරින්වරුන් මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට අසමත්ය. මේ නිසා සෑම අවස්ථාවකදීම වීරයෙක් මතුවෙයි. සර්ජියෝ ලියෝනිගේ සිනමාපට තුළ ඇතැම් අවස්ථාවලදී වීරයන් දෙදෙනෙකි. මොවුන් තම අභිමතාර්ථය වෙනුවෙන්
නොවළහා ක‍්‍රියාකරයි. මේ හේතුවෙන් කතාන්දරය තුළ ආතතිය පවත්වා ගැනීම උදෙසා දුර රූප මෙන්ම
අතිසමීප රූපද සර්ජියෝ ලියෝනි නොඅඩුව භාවිත කරයි. මෙලෙස භාවිත කරනා රූපරාමු සමග ඉනි ඕගේ සංගීතය මනාව පෑහෙයි. සර්ජියෝ තම සිනමා කෘතිවල සංගීතය පිළිබඳ මෙසේ පවසයි.‘ඉනි ඕගේ සංගීතය භාවමය වශයෙන් මාව වෙනත් ස්ථානයකට නිරතුරුවම රැුගෙන යනවා. හැබැයි අපි අතර නිර්මාණ කාර්යයේදී නිරතුරුව ගැටුම්ද ඇති වුණා. මෙම ගැටුම් හරහා හොඳ දෙයක් අවසාන වශයෙන් පිටතට ගන්නයි අපි දෙදෙනාටම වුවමනා කළේ. මගේ සිනමාපට තුළ පවතින්නේ දෙබස් අඩු රූපරාමු අධික ක‍්‍රමවේදයක්. මෙම ක‍්‍රමවේදයේදී මට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සංගීතය ඉස්මතු වෙන්න වුවමනා වුණා. අපි අතර පවතින ගැටුම් නිසා (ඒවා නිර්මාණය උදෙසාම සිදුවූවක්) මම තීරණය කළා මගේ අවසාන නිර්මාණය වූ ‘වන්ස් එපොන් අ ටයිම් ඉන් ඇමෙරිකා’  කෘතියේ තිරපිටපත ලිවීමෙන් පසු සංගීතය නිර්මාණය කරන්න ඉනි ඕට බාර දුන්නා ඔහු එය ඉතාමත් සාර්ථකව සිදුකළා’
                           සර්ජියෝ ලියෝනිගේ සිනමා කෘති තුළ අතිවිශාල කණ්ඩායමක් වාදනය කරනා සංගීත ඛණ්ඩ, වෙඩි හඬ සමග පරස්පරව ඇසෙනා සංගීත ඛණ්ඩ, සුරුවම් බෑම්, මවුත්  ඕගන් වාදන, ගිටාර් ඛණ්ඩ බහුලව අඩංගු විය. මේවා සිනමාපටයේ දර්ශනවල ත‍්‍රීව‍්‍රතාව වර්ධනය කරගැනීමට රැුකුලක් විය.සර්ජියෝ ලියෝනිගේ සිනමා කෘතිවලට අමතරව ඉනි ඕ තවත් සිනමාපට 500කට පමණ සංගීතය සැපයීය. නමුත් සර්ජියෝ ලියෝනි සමග පැවති සබඳතාව මෙන් ඔහුට අතිසාර්ථකත්වයක් ලැබීමට නොහැකිවිය. සර්ජියෝ ලියෝනි 1984දී ‘වන්ස් එපෝන් අ ටයිම් ඉන් ඇමෙරිකා’ නිර්මාණය කිරීමෙන් පසු තම සිනමා ගමනට තිත තැබීය. ඒ එම නිර්මාණයේ සංස්කරණය පිළිබඳ ඇති වූ මතභේදයන් හේතුවෙනි. කෙසේ වෙතත් අදටත් සර්ජියෝ ලියෝනිගේ ප‍්‍රබල රූප රාමු සහ ඉනි ඕ මොරොක්කෝනිගේ සංගීතය මිශ‍්‍රවී ගොඩනැගුණු සිනමාවේ මායාමය ස්වභාවය ඊට පසුව බිහිවූ නිර්මාණ ශිල්පීන්ගෙන් දක්නට නොමැති තරම්ය. අදටත් ලෝක සිනමාවේ විශිෂ්ට කෘති ලෙස සැලකෙන සර්ජියෝ ලියෝනිගේ සිනමාව වර්තමාන පරපුර පවා මහත් ආශක්තව නැරඹීමට පුරුදුව තිබේ.

Sunday, January 13, 2013

ලෝක සිනමාවේ මිණි කිරුළ ‘වූඩි ඇලන්’


                              ඔහු හැත්තෑ විය ඉක්මවූ මහලූ මිනිසෙකි. උසින් අඩු මේ මිනිසා අද වනවිට ලෝකයේ ජීවතුන් අතර සිටිනා විශිෂ්ටතම තිරකතා රචකයා වශයෙන් සැලකෙයි. ඔහු අන් කිසිවෙක් නොව වූඩි ඇලන්ය. වූඩි ඇලන්ගේ සිනමා කෘතියක් මට ප‍්‍රථම වරට නැරඹීමේ අවකාශය ලැබුණේ 2010 වර්ෂයේය. ඒ ඔහු රචනා කර අධ්‍යක්‍ෂණය කරන ලද ‘වට් එවර් වර්ක්ස්’ සිනමාපටයයි. මෙහි පැවති ස්වයං කථන වින්‍යාසය සිනමා ලෝකයේ රූපරාමු අතර සහ කතාන්දරයේ ගලායාම තුළ සුවිශේෂීත්වයක් නිර්මාණය කළේය. මහලූ වියේ ඇතිවන මානසික ව්‍යාධීන් නිසා භෞතික විද්‍යාඥයකු සියදිවි නසාගැනීමට ගන්නා නිරර්ථක උත්සහය සමග ඇතිවන ති‍්‍රකෝණාකාර ආදර අන්දරයක් මෙම සිනමාපටයට පාදක විය. මෙම තිරපිටපත 1970 වර්ෂයේදී වූඩි ඇලන් රචනා කරන ලද එකක් වන අතර ඔහු සීරෝ මොස්ටෙල්  නම් හැත්තෑව දශකයේ මිය ගිය නළුවා ඉලක්ක කරගනිමින් මෙම තිරපිටපත ලියා ඇත. නමුත් සීරෝ මොස්ටෙල් 1977දී මියයාමත් සමග මෙම සිනමාපටය පසුවට කල්තැබීමට වූඩි ඇලන්ට සිදුවිය. ‘වට් එවර් වර්ක්ස්’ හරහා වූඩි ඇලන් කියැවීම ආරම්භ කිරීමෙන් අනතුරුව ඔහුගේ අනෙකුත් සිනමාපට නැරඹීමෙන් තොරව සිටීමට පේ‍්‍රක්ෂකයන්ට නොහැකි විය.

                             1935 දෙසැම්බර් පළමුවැනිදා නිව්යෝර්ක් නුවර යුදෙව් පවුලකට දාව උපදින මෙම විශිෂ්ට සිනමාවේදියා මේ වනවිට ලෝක සිනමාවට විශිෂ්ට නිර්මාණ 47ක් පමණ දායක කර ඇත. වූඩි ඇලන්ගේ දක්ෂතාව එය නොවෙයි. ලෝක සිනමාවේ විශිෂ්ටයන් අගය කරනා ඔස්කාර් ඇකඩමි සම්මාන උළෙල සඳහා 1978 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්වා වර්ෂ 15කදී වූඩි ඇලන්ගේ නාමය 23 වරක් ඔස්කාර් සම්මාන සඳහා නාමයෝජනා වී ඇත. ඉන් පහළොස් වරක් හොඳම තිරරචනය උදෙසාත්, හත් වරක් හොඳම අධ්‍යක්ෂණය උදෙසාත්, එක් වරක් හොඳම රඟපෑම උදෙසාත් ඔහුගේ නම යෝජනා වී ඇත. ඒ අතරින් හතර වතාවකදී ඔහු සම්මානයට පාත‍්‍රවිය. 1978 වර්ෂයේදී ඔහුගේ විශිෂ්ටතම සිනමා නිර්මාණය වන ‘ඇනී හෝල්’ වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂණයට සහ හොඳම තිරරචනයට හිමි සම්මානය දිනාගැනීමට වූඩි ඇලන් සමත් විය. අනතුරුව ඔහු අධ්‍යක්ෂණය කරන ‘හැනා සහ ඇගේ සොයුරියන්’ -1986 වෙනුවෙන් හොඳම තිරරචනයට හිමි සම්මානය දිනාගන්නා වූඩි 2012 වර්ෂයේදී යළිත් හොඳම තිරරචනයට හිමි ඔස්කාර් සම්මානය දිනා ගන්නේ ‘මිඞ්නයිට් ඉන් පැරිස්’  සිනමාපටය වෙනුවෙනි.

                                වූඩි ඇලන්ගේ දශක හතරක සිනමා ගමන් මෙඟහි දක්නට ඇති සුවිශේෂීතාව වන්නේ ඔහු කතාන්දරයක් පවසන රිද්මයයි. අධ්‍යක්ෂවරයෙක් වශයෙන් ඔහු සංකීර්ණ රූපරාමු වෙත ගමන් නොගැනීමට වගබලා ගන්නා අතර කතාන්දරය වාර්තා ස්වරූපයකින් ගෙනහැරපෑමට උත්සහ කරයි. මෙහිදී ඔහුට පෙර සිනමාවේ සිටි බිලී වයිල්ඩර් අනුගමනය කළ සිද්ධාන්තද වූඩි ඇලන්ගේ සිනමා ශෛලියේ දක්නට ඇත. රූපය මෙන්ම දෙබස් භාවිතයද වූඩිගේ සිනමා කෘතිවල බහුලව දක්නට ලැබෙයි. සිනමාවට පිවිසීමට පෙර විකට සංදර්ශන පවත්වන්නකු වශයෙන් ඔහු ලැබූ පන්නරය සිනමා තිරරචනයේදී වූඩි නොඅඩුව යොදාගනියි. ඔහුගේ විශිෂ්ටතම නිර්මාණ වශයෙන් සැලකෙන ‘ඇනී හෝල්’, ‘මැච් පොයින්ට්’ ( , ‘හැනා ඇන්ඞ් හර් සිස්ටර්ස්’, ‘ටු රෝම් විත් ලව්’ වැනි සිනමාපට තුළ මෙම ආභාසය බහුලව දක්නට ලැබෙයි.

                                  වූඩි ඇලන්ගේ නිර්මාණකරණයේ ඇති සුවිශේෂී කරුණක් වන්නේ ඔහුගේ විසිරුණු චරිතයට සම්බන්ධ චරිතයක් සෑමවිටම සිනමාපටය සඳහා යොදාගැනීමයි. මෙම චරිතයේ ගතිගුණ හෝ ස්වරූපය වූඩි ඇලන්ගේ චරිතයට බෙහෙවින් සමීපය. මෙම චරිතය හරහා ඔහු සිය පෞද්ගලික දැක්ම සමාජගත කිරීමට නිරතුරුවම උත්සහ කරයි. විශේෂයෙන් ග‍්‍රන්ථ කතුවරයෙක්ගේ, තිර පිටපත් රචකයෙක්ගේ ගැඹුරු කල්පනා සහිත නළුවෙක්ගේ හෝ අධ්‍යක්‍ෂවරයෙක්ගේ චරිතය හරහා තම මතය පැවසීමට ඔහු සමත් වෙයි.

                                          සිනමාවේ කොතරම් දැවැන්තයෙක් වුවද වූඩි ඇලන්ට විශාල චිත‍්‍රාගාරවල දොරටු විවර වූයේ නැත. ඊට හේතුව වන්නේ ඔහුගේ සිනමා නිර්මාණ වාණිජ වශයෙන් අතිසාර්ථකත්වයට පත් නොවීමයි. නමුත් සිනමාවේ මූලික ගුණාංග ආරක්ෂා කරගනිමින් එහි කතා කලාව ඉදිරියට ගලාගෙන යාමට සැලසීම වූඩි ඇලන්ගේ සුවිශේෂීම දක්ෂතාව විය. ස්කූප්  වැනි නිර්මාණයක් ඔස්සේ සරල කතාන්දරයකින් සංකීර්ණ සිද්ධිදාමයක් ඔහු තිරයට ගෙන එයි. ‘ස්කූප්’ සිනමාපටයේ මෙන්ම ‘ද කර්ස් ඔෆ් ජේඞ් ස්කෝපියන්’ , ‘මිඞ්නයිට් ඉන් පැරිස්’ යන සිනමාපටවලදීත් වූඩි යථාර්ථය හා මායාව එකට බද්ධ කළ ඔහු මෙම බද්ධ කිරීම හරහා සැබෑ ලෝකය තුළ චරිත හැසිරෙන ආකාරය මනාව තිරයට ගෙනෙයි. නමුත් ඔහුගේ සංකීර්ණ කතාන්දර ඇතුළත් සිනමා කෘතීන් වන ‘මැච් පොයින්ට්’, ‘කැසන්ඩ‍්‍රාස් ඞී‍්‍රම්’ වැනි සිනමා නිර්මාණ තුළ ජීවිතයේ මුදල් සම්බන්ධ ඇතිවන ගැටලූ හේතුවෙන් මිනිස් සබඳතාවල ගැටලූ මතුවීම සහ ඒවා තවදුරටත් සමාජ සන්දර්භය තුළ ව්‍යාකූල වීම මනාව පෙන්වා ඇත.

                 වූඩි ඇලන්ගේ මුල් කාලීන සිනමා කෘති වන ‘ඉන්ටීරියර්ස්’, ‘මෑන්හැටන්’, ‘රේඩියෝ ඬේස්’ වැනි ගැඹුරු ආඛ්‍යානයක් සහිත සිනමාපටවල සිට මෑත කාලීනව අධ්‍යක්ෂණය කළ ‘යූ විල් මීට් අ ටෝල් ඩාර්ක් ස්ටේ‍්‍රන්ජර්’ , ‘හොලිවුඞ් එන්ඩින්’ වැනි සිනමාපට වඩාත් සරල සහ උපහාස රසය නොඅඩු කෘති බවට පත්ව ඇත.

සිනමාකරුවෙක්, නවකතා රචකයෙක් මෙන්ම ලෝකයේ විශිෂ්ටතම ප‍්‍රහසන ශිල්පියෙක් වශයෙන්ද නමක් දිනා සිටින වූඩි ඇලන් පිළිබඳ ‘නිව්යොර්ක් ටයිම්ස්’ පුවත්පත පැවසුවේ ඔහු සිනමාවට ලැබුණු මාණික්‍යයක් බවයි.
ලෝක සිනමාවේ මිණි කිරුළ ‘වූඩි ඇලන්’

Friday, January 11, 2013

ජන අරගල වෙනුවන් පෙනී සිටි ටෝනි ගේ‍්‍රග්

                                           ඇන්තනි විලියම් ටෝනි ගේ‍්‍රග් හෙවත් අපි කවුරුත් දන්නා ලොව සුපතළ ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර විචාරක ටෝනි ගේ‍්‍රග් පසුගිය දෙසැම්බර් 29 වැනිදා අප අතරින් වෙන් වූයේය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ අමරණීය විජයග‍්‍රාහී මතකයක් වන 1996 විල්ස් ක‍්‍රිකට් ලෝක කුසලානය දිනාගත් තරගයේ අවසන් විස්තර විචාරක කටයුත්ත කළේ ටෝනි ගේ‍්‍රග්ය. ඔහුගේ උද්යෝගිමත් මෙන්ම මහත් සතුටට පත් හඬ අර්ජුන රණතුංග ජයග‍්‍රහණයට පාර කැපූ හතරේ පහර සමග ලොව පුරා ගිගුම් දුන්නේය. ක‍්‍රීඩා විස්තර විචාරකයකුටත් වඩා උත්කෘෂ්ට මානවීය ගුණාංගයන් ටෝනි ගේ‍්‍රග් සතු විය. ශ‍්‍රී ලංකාවට හා ඉන්දියාවට ඔහු බෙහෙවින් ඇලූම් කළේය. ඉන්දියානු අර්ධද්වීපයේ දේශගුණයට, සංස්කෘතියට මෙන්ම ආහාරවලට ටෝනි ගේ‍්‍රග් ඇලූම් කළේය. අර්ජුන රණතුංග හට ‘කැප්ටන් කූල්’ යන නාමයත් රොමේෂ් කලූවිතාරණ හට ‘ලිට්ල් කලූ’ යන නාමයත් සනත් ජයසූරිය හට ‘මාස්ටර් බ්ලාස්ටර්’ යන නාමයත් පටබඳින්නේ ටෝනි ගේ‍්‍රග්ය. ඒ ඔහු මෙම කුඩා දිවයිනේ මිනිසුන්ට මෙන්ම ක‍්‍රිකට් ක‍්‍රීඩාවටද මුළු හදවතින්ම ආදරය කළ නිසාය.

                                     මිනිසත්කමට බෙහෙවින් ගරු කළ ටෝනි ගේ‍්‍රග් රුවන්ඩාවේ පැවැති අභ්‍යන්තර අර්බුදය පිළිබඳ සිය අවධානය වැඩි වශයෙන් යොමු කළේය. ජාත්‍යන්තර ක‍්‍රීඩා විස්තර විචාරකයෙක් වශයෙන් තම තරු බලය උපයෝගී කරගනිමින් රුවන්ඩාවේ තත්ත්වය පිළිබඳ වරින්වර ප‍්‍රකාශ නිකුත් කළේය.
‘එක්සත් ජාතීන්ගේ සංවිධානය රුවන්ඩාවේ සාමාන්‍ය ජනයා රැුකගැනීමට මීට වඩා ඇප කැප වී කටයුතු කරයි කියා මා බලාපොරොත්තු වනවා’ යැයි වරක් ටෝනි ගේ‍්‍රග් ජාත්‍යන්තර ප‍්‍රජාවට පැවසීය.
‘මගේ තත්ත්වය පිළිබ`ද විමසා බලා නිරෝගී සුවය ප‍්‍රාර්ථනා කළ සියලූ දෙනාට මගේ හද පිරි ස්තුතිය පිරිනමනවා. ඔබ සියල්ලන්ගේ සුබ පැතීම්වලින් සහ ආශිර්වාද සමග මගේ පවුලේ සෙනෙහසින් යළි නැගිටීමට මගේ උපරිම වෙහෙස ගන්නවා’
ටෝනි ගේ‍්‍රග් පසුකාලීනව තම වාසභූමිය කරගන්නේ ඔස්ටේ‍්‍රලියාවයි. දෙවරක් විවාහ වන ටෝනි ගේ‍්‍රග් හට දරුවන් සතර දෙනෙක් සිටියි. ගිය මාසයේ දෙසැම්බර් 29 වැනිදා අප අතරින් සමුගත් අඩි හයයි අ`ගල් හයක් උස දැවැන්ත ක‍්‍රීඩකයා, විස්තර විචාරකයා මානුෂවාදියා පිළිබ`ද ලොව දසත විසිරි විවිධ පුද්ගලයන් සිය අදහස් මෙසේ පැවසීය.

 මයිකල් ක්ලාර්ක් - නායක ඔස්ටේ‍්‍රලියා
‘දින කිහිපයකට පෙර මම ටෝනිට කතා කළා. ඔහුගේ අභාවය මාව කම්පනයට පත් කළා. පෞද්ගලිකව ඔහු මට ගුරුවරයෙක් වුණා. මගේ අඩුපාඩු නොඅඩුව පෙන්වා දුන්නා’
 මැට් ප‍්‍රයර් - එංගලන්තය
‘මට හිතාගන්න බැහැ මගේ ජීවිතේ වීරයෙක් බවට පත්ව සිටි පුද්ගලයෙක් මිය ගිය බව. ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් බොහෝ දෑ පැවසූ අයෙක්’
 ජූලියා ගිලාර්ඞ් - අග‍්‍රාමාත්‍ය - ඔස්ටේ‍්‍රලියාව
‘ඔස්ටේ‍්‍රලියාවෙන් පිටත සිට පැමිණි පුද්ගලයෙක් මෙරට සභ්‍යත්වයට සහ සංස්කෘතියට මෙතරම් හොඳට හැඩ ගැසීමේ හොඳම උදාහරණය ටෝනි ග්‍රේග්. ඔහු විවාදාත්මක චරිතයක් නොවුණත් ඔහු ක‍්‍රීඩාව වෙනුවන් කළ කැපවීම පුදුමාකාරයි’
 ඉයන් චැපල් - ක‍්‍රීඩා විස්තර විචාරක
‘මම ඔහුගේ රෝගී තත්ත්වය පිළිබ`ද දැන සිටියත් මෙතරම් ඉක්මනින් අප අතරින් ටෝනි ගේ‍්‍රග් මිය යාවි කියා සිතුවේ නැහැ. ඔහු කුමක් කළත් ධනාත්මකව සිතුවා. ක‍්‍රීඩකයෙක් වශයෙන් ඔහු තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වූවා. මිතුරෙක් වශයෙන් ඔහු ඉතාම කුළුපගව කටයුතු කළා’
 මාක් ටේලර් - හිටපු ඔස්ටේ‍්‍රලියානු නායක
‘ශරීරයෙන් මෙන්ම ක‍්‍රියා කලාපයෙන්ද ඔහු දැවැන්තයෙක්. මම ඔහු සමග විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරනකොටයි ටෝනි ගේ‍්‍රග් කියන දැවැන්ත චරිතයේ ස්වභාවය හ`දුනා ගත්තේ’
 රොමේෂ් කලූවිතාරණ - ශ‍්‍රී ලංකාව
‘ලිට්ල් කලූ කියලා මට පළමුව ආමන්ත‍්‍රණය කළේ ඔහු. ටෝනි ගේ‍්‍රග් සෑමවිටම අපේ අඩුපාඩු පෙන්වා දුන්නා’
සනත් ජයසූරිය - ශ‍්‍රී ලංකාව
‘ඔහු ආශා කළා අපේ ක‍්‍රීඩා විලාසයට. ටෝනි ගේ‍්‍රග් කිව්වා ජාත්‍යන්තරයට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා පිළිබ`ද. අපි අතර ටෝනි ගේ‍්‍රග් කියන නම සැමදාම රැුඳෙනවා’
ඬේව් වට්මෝර් - පාකිස්තානු පුහුණුකරු
‘චෙන්නායි නුවරට පා තබද්දී තමයි මම කනගාටුදාක පුවත ඇහුවේ. ඔහු විශිෂ්ටයෙක්. විශිෂ්ට ජීවනානුභූතියක් ඔහු සතු වුණා.’
ග්ලෙන් මැක්ග‍්‍රාත් - හිටපු ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩක
‘ඔහු ක‍්‍රීඩාවේ බිහිවුණු මහත්මා චරිතයක්’
 සන්ජේ මන්ජේකාර් - හිටපු ඉන්දීය ක‍්‍රීඩක
‘ඔහු අපව දිරිගැන්වූවා හැමවිටම. අපේ දක්ෂතා අගය කළා’

‘ ද ලෝර්ඞ් ඔෆ් ද රිංග්ස් ’ හඹා යන ‘ද හොබිට්’ චාරිකාව

                 බියවීම යනු අපගේ මනසේ පවතින දුර්වලතාවක් මත පමණක් ඇති වන සිතුවිල්ලක් විනා එය තමන්ගේ ශරීර ප‍්‍රමාණය හෝ තමන් තුළ පවතින සංස්කෘතිකමය හෝ දැනුම නමැති පරිචයන් හේතුවෙන් සිදුවන්නක් නොවේ. බිය ජයගෙන ඉදිරියට යාම වනාහි තම අරමුණ උදෙසා නොනවත්වා ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලියක් බවට පත්වන්නේය. අ`ගුටුමිටි බිල්බෝ බැගින්ස් තම කුඩා ශරීර ප‍්‍රමාණය පිළිබඳ නොසිතා වීර වික‍්‍රමයන් සඳහා පෙළඹෙන්නේ මේ නිසාය. ඔහු තමාටමත් තම වර්ගයේ අනෙකුත් සාමාජිකයන්ටත් අභියෝගයක් වන්නේ මෙම අසීමාන්තික ධෛර්යය හේතුවෙනි. බිල්බෝ බැගින්ස්ගේ ගමනාන්තය පිළිබ`ද දැක්මක් ඔහුටම නැත. එහෙත් කෙසේ හෝ අවසානයත් දැකීම උදෙසා ගමන් කළ යුතු බවට පමණක් ඔහු දත්තේය. මේ නිසා බිල්බෝ තම ආත්ම විශ්වාසය සවියක් කොට ගනිමින් ඉදිරියට ඇදෙන්නේය. බිල්බෝගේ අරමුණ වන්නේ ස්මව්ග්  නම් මකරා ආරක්ෂා කරගෙන සිටිනා අතිවිශාල නිධානයෙන් කොටසක් ලබා ගැනීමටය. මෙම මකරා සොයාගෙන යන ගමන ලෙහෙසි පහසු නැත. දවාලේ පවා අඳුර රජයන මෙම ප‍්‍රදේශවලට අ`ගුටු මිට්ටෙකු තබා යෝධයකුවත් පිවිසෙන්නේ නැත. නමුත් සිත තුළ පවතින ධෛර්යය නිසා බිල්බෝ ඉදිරියට ඇදෙන්නේය. බිල්බෝට වනය තුළ පවතින සියලූම අන්තරාවන් සේම මායාකාර ‘සව්රන්’ගෙන්ද ආරක්ෂා විය යුතුව තිබේ. ‘සව්රන්’ යනු එම රාජධානියේ සිටිනා භයානකම මෙන්ම ම්ලේච්ඡුතම මායාකරුවායි. මොහුගේ කෝපය හේතුවෙන් මිනිසුන්, සතුන් පමණක් නොව ගස් ගල් පවා විනාශ වන්නේය. ස්ව්රන්ගෙන් ගැලවීම උදෙසා මායාකරු ‘ගන්ඩල්ෆ්’ බිල්බෝගේ ආරක්ෂාවට කිහිපදෙනෙක් පත් කරත් ඔවුන්ටද බිල්බෝගේ ආරක්ෂාව තහවුරු කිරීමට සමත් නැත. ඒ ඔහු යන්නේ එතරම්ම අවදානම් ගමනක් වන බැවිනි. බිල්බෝ බැගින්ස්ට අවසානයේ කුමක් වෙයිද? ඔහුට තම අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකි වෙයිද? ‘ද හොබිට්’  සිනමා කෘති තුනට පාදක වී ඇත්තේ මෙම කතාවයි.

            ජේ.ආර්.ආර්. ටොල්කින්ගේ ‘ද හොබිට්’ නවකතාව හරහා පීටර් ජැක්සන් නිර්මාණය කරන ලද ‘ද හොබිට්:ඇන් අනෙක්ස්පෙක්ටඞ් ජර්නිතිරගත වීම පසුගිය නොවැම්බර් 28 වැනිදා ආරම්භ විය.

            ‘ද හොබිට්’ නිර්මාණය කළ යුතු යැයි පීටර් ජැක්සන් තීරණය කළේ මීට වසර කිහිපයකට පෙරය. නමුත් එය නැතහොත් එක සිනමාපටයකින් නිම කරන වාද සිනමාපට කිහිපයක දිගුවක් බවට පත් කරනවාද යන්න පිළිබ`ද විවිධ මතවාද පැවතිණි. කෙසේ වෙතත් 2005 වර්ෂයේ සිට ‘ද හොබිට්’ නිර්මාණය කිරීමේ පෙර නිෂ්පාදන කටයුතු ඇරඹී තිබිණිි. මීට පෙර ජේ.ආර්.ආර්. ටොල්කින්ගේ කෘති දෙකක් පාදක කරමින් නිර්මාණය කළ ‘ද ලෝර්ඞ් ඔෆ් ද රිංග්ස්’ සිනමා කෘති තුන ලොව පුරා අතිසාර්ථකව තිරගත විය. එම සිනමා කෘති තුන සඳහා ඩොලර් මිලියන 281ක් වැය කර තිබූ අතර මෙම නිර්මාණය ප‍්‍රදර්ශනය වීම නිසා ලැබුණු ලාභය ඇමෙරිකන් ඩොලර් බිලියන 2.92කි. මෙම අතිසාර්ථකත්වයත් ඔස්කාර් සම්මාන 17කින් ‘ලෝර්ඞ් ඔෆ් ද රිංග්ස්’ පිදුම් ලැබීමත් හේතුවෙන් ‘ද හොබිට්’ සඳහා අතිවිශාල පේ‍්‍රක්ෂක පිරිසක් එකතු වනු ඇති බවට පීටර් ජැක්සන්ට ඒත්තු ගැන්වී තිබිණි. නමුත් මේ වනවිට ‘ද හොබිට්’ සිනමාපටය කොටස් තුනකින් යුක්තව නිර්මාණය කිරීම පිළිබ`ද විචාරකයන්ගේ හොඳ සහ නරක මත ඉදිරිපත් වී ඇත. විශේෂයෙන් මෙම සිනමාපට සඳහා පාකද වී ඇති නවකතාවෙහි ‘ද ලෝර්ඞ් ඔෆ් ද රිංග්ස්’ මෙන් ත‍්‍රාසජනක ක‍්‍රියා සහ දර්ශනීය සිදුවීම් දක්නට නොමැති බවත් සිනමා නිර්මාණයේ ආතතිය පවත්වාගෙන යාමට එය බාධාවක් වනු ඇතැයි යනුවෙන්ද අදහස් පළ වී ඇත. කෙසේ වෙතත් පීටර් ජැක්සන් නවකතාව එලෙසම සිනමාවට රැුගෙන නැත. ඒ වෙනුවට එම කතාන්දරය තුළට තවත් කරුණු එකතු කළ පීටර් ජැක්සන් ‘ද හොබිට්’ සිනමාවට අනුවර්තනය කළේය. ඒ අනුව නව චරිත රැුසක් මෙන්ම සිදුවීම් රැුසක්ද සිනමාවට ගෙනඒමට පීටර් ජැක්සන් කටයුතු කර ඇත.

                        මෙම අනුවර්තනය ටොල්කින්ගේ පාඨකයන්ගේ දැඩි විවේචනයට භාජනය වී ඇත්තේ සාහිත්‍ය විකෘති කරන ලදැයි චෝදනාවද සමගය. ‘ද හොබිට්’ නිර්මාණය කිරීමේදී පළමුව එහි අධ්‍යක්ෂවරයා වශයෙන් තෝරාගෙන තිබුණේ ‘ගුලිර්මෝර් ඩෙල් ටොරෝ’ය. නමුත් තිරපිටපත රචනා කිරීමට ඉතා දිගු කාලයක් (වසර තුනක්) ගතවීම නිසා ගුලිර්මෝර් මෙම ව්‍යාපෘතියෙන් ඉවත් විය. ඒ සමග ‘ද ලෝර්ඞ් ඔෆ් ද රිංග්ස්’හි විශිෂ්ඨත්වය රූපයට නැගූ පීටර් ජැක්සන් හටම අධ්‍යක්ෂ කාර්යය පැවරුණි. මේ වනවිට ‘ද හොබිට්’ සිනමා නිර්මාණ තුනම රූගත කර අවසන්ව ඇත. ඒ සඳහා දින 266ක කාලයක් ගත විය. මෙම චිත‍්‍රපට පෙළ ‘ද හොබිට්’; ‘අන්එක්ස්පෙක්ටඞ්’, ‘ද ඩෙසො ලේෂන් ඔෆ් ස්මව්ග් , ‘දෙයාර් ඇන්ඞ් බැක් එගේන්’ වශයෙන් නම් කර ඇත.
                                                     ප‍්‍රථම ‘ද හොබිට්’ සිනමාපටය ප‍්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව පීටර් ජැක්සන් මෙසේ අදහස් දැක්වීය. ‘මම දකින්නේ සිනමාපටයක් කරනවා කියන්නේ බොහොම ආත්මාර්ථකාමී ක‍්‍රියාවක්. ඔබ කොහෙට හෝ ගොස් දැහැන් ගතවෙලා අන්‍යයන්ගෙන් වෙන් වෙලා මේ කටයුත්ත කරන්න  ඕනේ. එහි සාර්ථකත්වය සහ ඔබට කීමට අවශ්‍ය වූ දෙය නිවැරැුදිව කියවිලා තියෙනවද යන්නත් සෑම සිනමාපටයකට පසුව සොයන්න  ඕනේ. ‘ද හොබිට්’ කෘතිය කියවීමෙන් පසු මට හිතුණා මේක සිනමාවට නගන්න. ඇත්තටම 1995 වර්ෂයේ තමයි ඔය අදහස ආවේ. නමුත් ‘ද හොබිට්’ නිර්මාණය කරන්න කලින් ‘ද ලෝර්ඞ් ඔෆ් ද රිංග්ස්’ සිනමා නිර්මාණ කරන්න සිදුවුණා. මට අද වගේ මතකයි ‘ද හොබිට්’ කියවා අවසානයේදී මගේ නෙත`ගින් ක`දුළු වැගිරෙන්නට වුණා. මේ කාර්යය මුලදී ආරම්භ කරද්දී මා තුළත් සැකයක් මතු වුණා. ‘ද හොබිට්’ පේ‍්‍රක්ෂකයා වැළඳ ගනියිද? වැළඳ ගන්නවා නම් ඒ කොයි ආකාරයකින් විය යුතුද යන්න ගැන. සිනමාවේ කතන්දර කියන්නකු වශයෙන් මට අවශ්‍ය වුණේ මම කෘතිය කියවීමෙන් ලබාගත් ආශ්වාදය පේ‍්‍රක්ෂකයාට ලබා දෙන්නයි. කොයිම ආකාරයෙන් වුණත් තාක්ෂණය හරහා කොපමණ ප‍්‍රයෝග යෙදුවත් තවමත් පේ‍්‍රක්ෂකයන්ගේ අවධානය පවතින්නේ සිනමාපටය තුළ පවතින කතාවටයි’

                                     ‘ද හොබිට්’ සිනමාපට ත‍්‍රිත්වයේ දෙවැනි සිනමා කෘතිය 2013දීත් තෙවැන්න 2014දීත් තිරගත කිරීමට කටයුතු කර ඇත. 1937දී ජේ.ආර්.ආර්. ටොල්කින් රචිත මෙම ළමා චිත‍්‍ර නවකතාව සිනමාවට නැගෙන්නේ දෙවැනි වරටයි. මීට පෙර 1978දී කාටූන් සිනමාපටයක් වශයෙන් ‘ද හොබිට්’ තිරගත කර ඇත. මාලා සිනමාපටවලටත් ත‍්‍රාසජනක ක‍්‍රියාවලටත් මිත්‍යා කතන්දරවලටත් ප‍්‍රිය පේ‍්‍රක්ෂකයන් මෙය ඉතා ආදරයෙන් වැළඳ ගනු ඇත. නමුත් ‘ද ලෝර්ඞ් ඔෆ් ද රිංග්ස්’ සිනමාපට තුන ලැබූ ජනප‍්‍රියත්වයත් විචාරක පැසසුමත් ‘ද හොබිට්’ සිනමාපටවලට ලැබෙයිද යන සැකය මතු වී ඇත.